brand logo

ආදරවන්තයන්ට ඩෙන්මාර්ක් දේශ සීමා දොර ඇරෙයි

28 May 2020

කොරෝනා වසංගතයත් සමග රටවල දේශ සීමා වසා දැමීමට පියවර ගැනීම නිසා එකම පවුලේ ඥාතීන්, ආදරවන්තයින් වැනි අයටද එකිනෙකාගෙන් ඈත්ව වෙන වෙන රටවල කොටු වී සිටින්නට සිදු වූ බව රහසක් නොවේ. දැන් බොහෝ රටවල් මේ අයට නැවත එක් වීමට අවස්ථා සලසා දීමට සූදානම් වෙමින් සිටින ආකාරය දැකිය හැකි වේ. දේශසීමා වසා දැමීම නිසා පසුගිය කාලයේ වෙන්ව සිටින්නට සිදු වූ ආදරවන්තයින්ට නැවත එකිනෙකා මුණ ගැසෙන්නට ඉඩ දීමට පසුගියදා ඩෙන්මාර්කය පියවර ගැනීම කැපී පෙනුණු සිද්ධියක් විය. මේ අනුව සිය පෙම්වතා හෝ පෙම්වතිය මුණ ගැසෙන්නට ඩෙන්මාර්කය තුළට පැමිණීමට වෙනත් යුරෝපා රටවල සිටින පෙම්වතුන්ට පෙම්වතියන්ට අවසර ලැබෙනු ඇත. නමුත් මෙහි දී ඔවුන් අතර ආදර සම්බන්ධයක් පැවැති බව ඔප්පු කිරීම සඳහා යම් යම් සාක්‍ෂි ඉදිරිපත් කිරීමට අදාළ ආදරවන්තයන්ට සිදු වේ. ඔවුන් එකට පෙනී සිටින ඡායාරූප, හුවමාරු කරගත් ඊමේල්, කෙටි පණිවුඩ ආදිය හරහා සිය ආදර සම්න්බන්ධය සනාථ කිරීමට සිදු වනු ඇත. හුදෙක් ඊමේල් සහ කෙටි පණිවුඩ ආදිය හරහා ‘දුරස්ථ සබඳතා’ පමණක් පැවැත් වූ අයට මෙම අවස්ථාව නොලැබෙනු ඇති බවද සඳහන් වේ. ඒ නිසා තමුන් එකිනෙකා මුණ ගැසී ඇති බව ඡායාරූප ආදිය මගින් සනාථ කිරීමට සිදු වෙයි. එමෙන්ම මෙම අවසරය ලැබෙනු ඇත්තේ මාස 6 කට වැඩි කාලයක් සම්බන්ධතා පැවැත් වූ අය වෙනුවෙන් පමණි. ප්‍රේම සම්බන්ධය සනාථ කිරීම සඳහා ඡායාරූප, ඊමේල් පණිවුඩ, කෙටි පණිවුඩ වැනි අති පෞද්ගලික දේ ඉදිරිපත් කිරීමට සිදුවීම ගැන යම් විවේචනද ඉදිරිපත් වෙමින් තිබේ. ඒ නිසා ඊට වෙනස් යම් ක්‍රම වේදයක් හඳුන්වා දීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. සහන් වික්‍රමගේ
 

More News..