brand logo

ආතර් සහ සැකර් වැඩ භාරගැනීමට මෙරටට

05 December 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සැකර් පෙරේදා (4වැනිදා) රාත්‍රියේ මෙරටට පැමිණ තිබේ. මීට ඉහතදී දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානයේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ ආතර් වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කිරීමට නියමිතය. ඉකුත් වසර 8ක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් වූ 11 වැන්නා ආතර් වේ. ඩේවිඩ් සැකර්ට අමතරව ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු වශයෙන් ග්‍රාන්ට් ෆ්ලවර් සහ පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් ශේන් මැක්ඩර්මෝට් මෙරටට පැමිණීමට සූදානමින් සිටින අතර ඔවුන්ද, වසර දෙකක ගිවිසුම් කාලයකට යටත්ව අදාළ තනතුරු සඳහා එකඟව ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. ඇන්ඩි ෆ්ලවර් එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග සඳහා පමණක් සිය සහය ලබාදෙන බවට වාර්තාවන අතර ලබන 11 වැනිදා පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු සහභාගි වන්නේ නැත. ඒ හේතුවෙන් මෙතෙක් කල් ශ්‍රී ලංකා පිලේ වැඩබලන පුහුණුකරු වශයෙන් කටයුතු කළ රුමේෂ් රත්නායක එම තරගාවලියේදී නව නිලධාරීන් සඳහා සහය වනු ඇත. මෙලෙස නව පත්වීම් ලබා දී අවසන් වුවත්, හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ තවදුරටත් ක්‍රිකට් ආයතනය සමග වන ගිවිසුම තවම බලාත්මකව පැවැතීමද විශේෂත්වයකි.
 

More News..