brand logo

ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි - හකීම් කියයි

18 May 2019

ඉකුත් අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි රජය ජනතාව ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි යන ස්ථාවරයේ තමා සිටින බව උසස් අධ්‍යාපන හා ජල සම්පත් ඇමැති හා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් පවසයි. ඉකුත් 15 වැනි දින රජයේ දෙමළ මාධ්‍ය රූපවාහිනී නාළිකාවක කාලීන දේශපාලන සාකච්ඡාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය. ‘‘21 ප්‍රහාරය සමස්ත ජනතාවම ජාති, ආගම් භේදයකින් තොරව පිළිකුල් සහගතව හෙළා දකිනවා වගේම සියලුම දේශපාලන පක්ෂ නායකයන් ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන්ද, ලෝක ප්‍රජාවද තරයේ හෙළා දකිනවා. වත්මන් රජයේ ඇමැතිවරයකු ලෙස කටයුතු කිරීම පිළිබඳව මා ලැජ්ජා වෙනවා. අද රට තුළ නිර්මාණය වී ඇති තත්ත්වය අනුව මුළු මහත් මුස්ලිම් ජනතාව හා මුස්ලිම් දේශපාලන නායකයන් අන්තවාදීන් ලෙසට හැඟෙන චෝදනා ගැන අපට එකඟ විය නොහැකියි. මුස්ලිම් නාමික අන්තවාදීන් වන මේ කුඩා පිරිස මුස්ලිම් ජන කොටසට අයත් නොවන බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය ඇතුළු මුස්ලිම් සංවිධාන කීපයක් වසර ගණනාවකට පෙර රජයටත්, ආරක්ෂක අංශවලටත් දැන්වූවා. ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශවලින් ක්‍රියාත්මක වන මේ සෝදිසි මෙහෙයුම් ඉතා සාර්ථකයි. කෙටි කාලයක් තුළ අපේ ආරක්ෂක නිලධාරීන් ප්‍රහාරයට සම්බන්ධ පිරිස සොයා ගැනීමටත්, අත්අඩංගුවට ගැනීමටත් සමත් වුණා.’’ ‘‘මෙම සෝදිසි කඩිනම් වීමට එදා මුස්ලිම් සංවිධාන මගින් ලබාදී තිබූ තොරතුරු ඉවහල් වූ බවත් අපි සිහිපත් කළ යුතු’’ යැයි ඇමැතිවරයා එහිදී පැවසීය. ‘‘මෙම කුඩා අන්තවාදීන් පිරිස පිළිබඳ එදා රජය, ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූවා නම් මෙවැනි විශාල ව්‍යසනයක් රට තුළ නිර්මාණය වීම මර්දනය කරන්න ආරක්ෂක අංශයට අපහසු කාරණයක් නොවේ’’ යැයිද අද මේ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් ඇතැම් කණ්ඩායම් කලහකාරී ලෙස කටයුතු කිරීම අනුමත නොකරන බවද, කලහකාරී පිරිසගේ ඉලක්කය වී ඇත්තේද මුස්ලිම් ජනතාවගේ ආර්ථිකයට පහර දීම බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
 

More News..