brand logo

ආණ්ඩුවට ඇගිල්ල දිගු කිරීමට චෝදනාවක් අද විපක්ෂයට නෑ - අනුරුද්ධ කියයි

12 February 2020

රට තුළ අද ශක්තිමත් විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂය රනිල් පිල හා සජිත් පිල ලෙස පිල් දෙකකට බෙදී ඇති බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. ආණ්ඩුවට ඇගිලි දිගුකර පෙන්වීමට තරම් චෝදනාවක් අද විපක්ෂයට සොයාගත නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය. වත්මන් විපක්ෂනායකවරයා පසුගිය රජය සමයේදී කිසිදු කළමණාකාරීත්වයක් නොමැතිව කටයුතු කර ඇති නිසා, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට වඩා අප සතුටු විය යුත්තේ විපක්ෂනායකවරයාගෙන් රට ගලවාගැනීම පිළිබදව බවත් අමාත්‍යවරයා සදහන් කළේය. ජනාධිපතිතුමා අද නව දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එතුමාගේ වැඩපිළිවෙල පිළිබදව ප්‍රශංසා කරමින් විපක්ෂනායකවරයාද අද ප්‍රකාශ නිකුත් කරන බවත් පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දේශීය උළු කර්මාන්ත හිමියන් සමග පැවති විශේෂ හමුවකට සහභාගී වෙමිණි. මෙම හමුව පුත්තලම දිස්ත්‍රික්කයේ වයික්කාල, රිවෝරිච් හෝටලයේදී පැවැත්විණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “අපේ ඉලක්කය මෙරට නිවාස නොමැති ජනතාව වෙනුවෙන් නිවාස අමාත්‍යංශය හරහා නිවසක් ලබා දීමයි. විෂය භාර ඇමතිවරයා ලෙස අගමැතිතුමාටත්, රාජ්‍ය ඇමතිවරයා ලෙස මටත් පැවරුනු වගකීම වූයේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිවාස ඉදිකිරීම සදහා අමාත්‍යංශය මෙහෙය වීමයි. ඒ සදහා කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් සකස් කරන විට අපේ පළමු සැලැස්ම වූයේ නිවාස නොමැති අසරණ දුගී දුප්පත් ජනතාව සදහා ‘ගමට ගෙයක්’ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමයි. මේ හරහා ග්‍රාමසේවා වසමකට එක් නිවසක් වශයෙන් මුළු රටේම නිවාස 14,022 ක් ඉදිකරනවා. මේ සදහා අගමැතිතුමා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමත වීමෙන් පසුව මෙම වැඩසටහන පිළිබදව උපදෙස් ලබා ගැනීමට මා එතුමාව හමු වුණා. අද තියෙන්නේ මනා දැක්මක් සහ දර්ශනයක් සහතිව වැඩ කරන ආණ්ඩුවක්. පසුගිය ආණ්ඩුවේ අපි එය දුටුවේ නැහැ. අපි එදා උළු කර්මාන්ත හිමියන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් හිටපු නිවාස ඇමතිවරයාගේ අවධානයට යොමු කළා. රජයේ නිවාස වැඩසටහනට දේශීය උළු හිමියන්ගෙන් උළු ලබා ගන්නා වැඩපිළිවෙලක් සකස් කරන්න කියා එදා අපි එතුමාගෙන් ඉල්ලා සිටියා. එහිදී එතුමා පැවසුවේ, නිවාසවලට උළු සෙවිලි කරනවාට වඩා සීට් සෙවිලි කළාම පරිසරය ආරක්ෂා වනවා කියායි. වත්මන් විපක්ෂ නායකයාට තියෙන්නේ මෙවැනි දැක්මක්. අද රටට අවශ්‍ය දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී තිබෙනවා. අද ජනාධිපතිතුමාව බොහෝ අය අගය කරනවා. සජිත් මහත්තයා කියනවා ජනාධිපතිතුමා යටතේ එයාට අගමැතිකම කරන්න පුළුවන් කියා. සජිත් මහත්තයා මැතිවරණ සමයේ වේදිකාවලදී මොනවා කිව්වුත්, ජනාධිපතිතුමාගේ වැඩපිලිවෙල හොදයි කියා අද එතුමත් ප්‍රකාශ කරනවා. දේශීය උළු කර්මාන්ත හිමියන් මුහුණ දෙන ගැටළු පිළිබදව මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කළ අතර ඒ පිළිබදව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග සාකච්ඡා කර ඉදිරියේදී ඊට කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. මෙම අවස්ථාවට සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බැප්ටිස් ප්‍රනාන්දු මහතා හා එහි නිළධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක්ද සහභාගී වූහ.   [gallery ids="62668,62669,62670,62671,62672,62673"]
 

More News..