brand logo

අ.පො.ස. (සා/පෙළ) විභාගය අද සිට - ආපදා තත්ත්වයෙන් විභාගයට බාධා නම් 117 ට කියන්න

02 December 2019

පවතින ආපදා තත්ත්වය මත නුවරඑළිය, වලපනේ, බදුල්ල සහ පස්සර යන ප්‍රදේශවල සාමාන්‍ය පෙළ අයැදුම්කරුවන්ට ළඟම විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටීමට විභාග දෙපාර්තමේන්තුව පහසුකම් සලසා ඇත. සෙසු ප්‍රදේශයන්හි උද්ගත වන හදිසි තත්ත්වයන් අනුව අවශ්‍ය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ට ඊයේ (01 වැනිදා) පැවසීය. මේ අතර මෙම විභාග කාලසීමාවේ ආපදා මගින් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීමට විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හා විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි. යම් ආපදා තත්ත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් වන්නේ නම් ඒ බව දැනුම් දීම සඳහා 117 යන හදිසි ඇමතුම් අංකයක් පවතින අතර එසේ නැතහොත් 0773957903, 0773957898 හෝ 0772320530 යන දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන හාරදහස් නවසිය අසූ හතකදී අද (02 වැනිදා) ආරම්භ කෙරේ. මෙවර විභාගය සඳහා අයැදුම්කරුවෝ හත් ලක්ෂ දාහත් දහස් අට දෙනෙක් පෙනී සිටිති. ඒ අතරින් හාරලක්ෂ තිස් තුන් දහස් පනස් දෙනෙක් පාසල් අයැදුම්කරුවෝ වෙති. පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව දෙලක්ෂ අසූ තුන් දහස් නවසිය පනස් අටකි. විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ පන්සිය හතළිස් නවයක්ද මෙවර විභාගයට පෙනී සිටිති. විභාගයට පෙනී සිටීම සඳහා එම දරුවන්ගේ විශේෂ අවශ්‍යතා කවරේද යන්න විභාග දෙපාර්තමේන්තුව කලින් හඳුනාගෙන තිබේ. ඒ අනුව එම පහසුකම් සැලසීමට පියවර ගැනේ. විද්‍යුත් සන්නිවේදන උපාංගවලින් යුත් අත් ඔරලෝසු, ජංගම දුරකථන මෙන්ම විද්‍යුත් සන්නිවේදන උපකරණ ළඟ තබා ගැනීම අයැදුම්කරුවන්ට සපුරා තහනම් වන අතර එවැනි අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රතිඵල අවලංගු කර වසර පහක විභාග තහනමකට ලක් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ට ඊයේ (01 වැනිදා) පැවැසීය. අක්‍රමිකතා වැළැක්වීම සඳහා අධීක්ෂණ කණ්ඩායම් දිවයින පුරා ක්‍රියාත්මක වන බවත් යම් අක්‍රමිකතාවක් සිදු වන්නේ නම් දෙපාර්තමේන්තුවේ 1911, 0112 784208 හෝ 0112 784537 යන දුරකථන අංකවලට අමතා පැමිණිලි කළ හැකි බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි. විභාගය ලබන 12 වැනිදා දක්වා පැවැත්වේ. නිලන්ත මදුරාවල  
 

More News..