brand logo

අහසින් වැටෙන සුදු පැහැති ද්‍රව්‍යයක් නිසා දිඹුලාගල කලබල වෙයි

28 September 2020

ඉහළ ගුවනේ සිට සුදු පැහැති ද්‍රව්‍ය කැබලි දිඹුලාගල අවට ගම්මාන කිහිපයකට පෙරේදා (26දා) අලුයම් කාලයේ සිට පතිත වීම නිසා ප්‍රදේශවාසීහු නොසන්සුන්තාවට පත්ව සිටිති. දිඹුලාගල, දලුකාන, නාමල් පොකුණ, මැදගම, කුඩාවැව සහ ඒ අවට ගම්මානවලට එම ද්‍රව්‍ය වැටෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. එලෙස වැටෙන සුදු පැහැති කැබලි කොටස් විදුලි රැහැන් මත සහ ගස්වල දැවටී තිබෙන බවද පැවසේ. දිඹුලාගල ආරණ්‍යවාසී හේනානිගල චුල්ලපන්තකාලංකාර ස්වාමීන් වහන්සේ සඳහන් කළේ තම ආරණ්‍ය සේනාසනය අවට ගම්මානවලට පතිත වන එම සුදු පැහැති මකුළු දැල්වලට සමාන ද්‍රව්‍ය පිළිබඳ වහා පරීක්ෂණයක් සිදුකරන ලෙසය. ප්‍රදේශයේ ගොවි නායකයකු වන සමන් රත්න ජයකොඩි පැවසුවේ තමන් මීට පෙර එවැනි සුදු පැහැති කැබලි කොටස් උඩු ගුවනේ සිට පොළොවට පතිත වනු නොදුටු බවත්, මෙය කිසියම් අනතුරක් අඟවන පෙරනිමිත්තක්ද යන්න පිළිබඳ සැකයක් මතුව ඇති බවය. මේ පිළිබඳ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් පී.ටී.එම්. ඉර්ෆාම්ගෙන් කළ විමසීමකදී පැවසුවේ එවැනි සිද්ධියක් මෙතෙක් වාර්තා නොවූ බවත් ඒ සම්බන්ධව ප්‍රාදේශීය​ සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ අංශ දැනුවත් කර වහාම සොයා බලන බවයි. ප්‍රසාත් සමන්-වැලිකන්ද
 

More News..