brand logo

අසිරිමත් නත්තල අදයි

25 December 2019

ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල අද යි. දිළිඳු ගවලෙනක, සීතල උඳුවප් මහේ උපත ලද ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණෝ, අවිදු අඳුරු නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලය ම කැප කළ අයුරු සිහිපත් කරමින් ශ්‍රී ලාංකික අප ද අද මේ දිනය සැමරුමට එක්වනුයේ එකිනෙකා කෙරෙහි හදවතේ උපන් ගෞරවය, සෙනෙහස, සතුටු සිත් පෙරටුවයි. සාමය, සංහිඳියාව, සහෝදරත්වය ගොඩනැඟීමේ සුබ මොහොත සහ කාලීන අවස්ථාව උදාවී ඇතැ යි අද රටපුරා සෑම දෙව් මැදුරක ම ගැයෙන බැතිගීවල නාදය වනු ඇත. ලක්වාසි කිතුණු ජනතාව ද අද දෙවස්ථනවල ආගමික වැඩසටහන් පවත්වනු ඇත. නත්තලේ සැබෑ අරුත වන්නේ එකිනෙකා තුළ සාමය සහෝදරත්වය හා ආදරය පැතිරවීම සහ බෙදා ගැනීමයි. එහෙත් වත්මන් සමාජය නත්තලේ සැබෑ ආධ්‍යාත්මික අරුත අමතක කර දමා ලෞකිකත්වයට මුල්තැන දෙමින් එකිනෙකා පරයා නැගී සිටින්නට උත්සාහ ගන්නා බව පෙනී යයි. අප කළ යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ කියාදුන් මානව දයාවේ පණිවුඩය සෑම දනන් තුළ පතුරුවන්නට ක්‍රියා කිරීමයි. නත්තල වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දෙව් මැඳුරේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සහභාගිත්වයෙන් පවත්වන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙනු ඇති.
 

More News..