brand logo

අස්ථාන සැකයකින් යුතුව කිසිදු ක්‍රීඩකයකුට චෝදනා කරන්නේ නෑ

23 June 2020

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගයට අදාළව නැගී තිබෙන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක ප්‍රතිඵල මත මිස අස්ථාන සැකයකින් යුතුව කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයකුට චෝදනා නොකරන බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මාතර නූපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් එලෙස පැවැසූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය. ‘මේ චෝදනාව රටක් වශයෙන් නොවෙයි අන්තර්ජාතිකව කැලඹීමට ලක්වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයම දැඩි කම්පනයකට පත්වෙලා තිබෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙය අනාවරණය කිරීමෙන් පස්සෙ මම ක්‍රීඩා අමාත්‍යවරයා විදියට ක්‍රිකට් පාලක මණ්ඩලයේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ගෙන්වා මේ පිළිබඳ විමසීමක් කළා. මේ දක්වාම මට එය සනාථකර ගැනීමට අදාළ සාක්ෂි ලැබිලා නෑ. නමුත් මේ චෝදනාව කරනු ලැබුවේ ඒ ලෝක කුසලානය පැවති කාලයේ මෙරට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමා. ඒ නිසා මේ චෝදනවා බැහැරකරන්න බැරි නිසා මම අපේ අමාත්‍යාංශ ලේකම් තුමාට උපදෙස් දුන්නා පරීක්ෂණයක් පවත්වන ලෙසට. අපි දූෂණ විමර්ශන විශේෂ ඒකකයක් මීට මාස තුනකට පෙර ලංකාවේ ස්ථාපිතකරනු ලැබුවා. ඒ මෙරට පළමු වතාවටයි. පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් එම ඒකකය ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඒ අනුව මම අපේ ලේකම්වරයාට උපදෙස් දුන්නා මහින්දානන්ද අමාත්‍යවරයා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කෙටිකාලයකදී කර අපට වාර්තාකරන්න කියා. ඒ විශේෂ ඒකකයට අපි ඒ ගැන දැනටමත් දැනුම්දී තිබෙනවා. මේ මොහොතේ රක්ත හීනතාවයෙන් පෙ​ෙළන විපක්ෂය නොයෙක් චෝදනා කරන්න පුළුවන්. අපි ඒ ගැන කලබලවෙන්නේ නෑ.’ යි යනුවෙන් කීවේය. ජයසිරි පේදුරුආරච්චි - මාතර
 

More News..