brand logo

අසන්න ඇය ගයන්නී සත්‍යයේ ගීතයයි

28 September 2019

එක්දහස් නවසිය හැත්තෑ හතේ බලයට ආ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ලෙයින්, යකඩයෙන් ජනතාව මඬිද්දී නන්දා මාලනිය සත්‍යයේ ගීතය නම් විරෝධාකල්ප ගී දැහැනක් පවත්වමින් රට වටා ගියාය. එහි අරමුණ පෝස්ටරයක් මගින් ප්‍රචාරය කළේ අසන්න, ඇය ගයන්නී සත්‍යයේ ගීතයයි කියාය. නන්දාගේ සත්‍යයේ ගීතය දේශපාලන විචාරකයන් හැඳින්වූයේ යූඑන්පීයේ මුග්ධ සහ රුදුරුකමේ යථාර්ථය පෙන්වන ගී දැහැනක් ලෙසිනි. අසූව දශකයෙන් පසු යූඑන්පීයේ මුග්ධ සහ රුදුරුකමේ යථාර්ථය ලොවට පෙන්වන නන්දා මාලිනියගේ පන්නයේ වැඩක් මේ රටේ කෙරුණේ නැත. එහෙත් පසුගිය සතියේ මේ යූඑන්පී ආණ්ඩුවේ තිබෙන මුග්ධ රෞද්‍රකම පෙන්වන සත්‍යයේ ගීතය බඳු ප්‍රකාශනයක් ගැහැනියකගේ හඬින් අපට අසන්නට ලැබුණි. ඒ, අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ හඬිනි. එම මැතිනිය සුප්‍රකට ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවකු වූ නිශ්ශංක සේනාධිපති සමග කළ දුරකථන සංවාදය රටට ඇසෙන්නට සලස්වා තිබිණි. එය යූඑන්පී ආණ්ඩුවේ මුග්ධ හා රෞද්‍රකම පෙන්වන සත්‍යයේ ගීතයකි. පාඨක ජන මන රංජනය කරවා ප්‍රඥාවේ ඇස පාදා ගැනීමට අල්ලස් කොමිසමේ සභාපතිනිය, ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති හා කළ දුරකථන සංවාදයේ කොටසකට අප ඇස යොමමු. ‘‘නිශ්ශංක මම ජීවිතේට හිතුවේ නෑ ඔයාග බිස්නස් එක මේකෙන් නැතිවෙයි කියල. එහෙම හිතුවා නම් මම ජීවිතේට ඔයාගෙ නඩුව දාන්නේ නෑ. මොකද මේ වාගේ කරුමක්කාර දේශපාලනය නිසා ඔය එක්සත් ජාතික පක්ෂයේ අය නිසා මම හරියට දුක් වුණා, මේ ගැන. මේ ගැන දන්නවා නම් මම ගෝඨාභය රාජපක්ෂටවත් නඩු දාන්නේ නෑ.’’ සත්‍යය ප්‍රකාශ කළොත් එය ප්‍රබන්ධයට වඩා විශ්මයජනක බව කියැවේ. යූඑන්පී ආණ්ඩුව මේ රටේ නීතිය ක්‍රියාත්මක කළ ආකාරය හෙළිදරව් කෙරෙන මේ කතාව නීතිය උන්ගේ- හිරගෙය අපගේ කියා නන්දා ගැයූ ප්‍රබන්ධ ගීතවලට වඩා මොනතරම් විශ්මයජනකද? දිල්රුක්ෂි වික්‍රමසිංහ තම දුරකථන සංවාදය අතරතුර මෙසේද කීය. ‘‘ඔබ දන්නවානේ අපට නීති හදන්නත් පුළුවන්, කඩන්නත් පුළුවන්.’’ අප අසා ඇති පරිදි නීති හදන්නේ ව්‍යවස්ථාවෙන්, අණපනත්වලින් සම්ප්‍රදායෙන් සහ පූර්ව නිදර්ශන න්‍යාය යටතේ දුන් නඩු තීන්දුවලිනි. එහෙත් දැන් අප පාලනය කෙරෙන නීති හැදෙන්නේ ආණ්ඩුවේ කිහිප දෙනකුගේ පැවැත්ම සාදා ගැනීම වෙනුවෙනි. 1977 බලයට ආ ජේ.ආර්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළේය. එය 1994 වන විට 13 වතාවක් සංශෝධනය කළේ ය. ඒ සංශෝධන අතරින් සංශෝධන දහයක්ම කළේ තම පුද්ගලික බලය රැක ගැනීමටය. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට ජේ.ආර්. කොමිසමක් පත් කළේ ය. එම කොමිසම නීති විරෝධී බවට මැතිනිය අභියාචනාධිකරණයෙන් තීන්දුවක් ගත්තාය. අභියාචනාධිකරණය තීන්දුව දුන් පසු ජේ.ආර්. කළේ එබඳු තීන්දු දීමට බලය තිබෙන්නේ උපරිමාධිකරණයට බව ප්‍රකාශ කෙරෙන ආකාරයට ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමය. උපරිමාධිකරණයේ සිටියේ ජේ.ආර්. පත් කළ නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාය. එම තත්ත්වය දැන සිටි මැතිනිය ප්‍රජා අයිතිය අහෝසි වෙන්නට ඉඩ හැරියා විනා උපරිමාධිකරණය හමුවට යුක්තිය පතා නොගියාය. ජේ.ආර්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කළ සංශෝධන දහතුනෙන් බහුතරයක්ම එබඳු සංශෝධනය. ඒ අනුව අප දැන් පාලනය වන මූලික නීතිය ජනතා පරමාධිපත්‍යය පෙන්වන්නකට වඩා එකිනෙකාගේ පුද්ගලික බල පැවැත්මට ගෙනා නීතිරීතිවලින් සෑදුනකි. ජේ.ආර්.ගේ බෑණාගේ මේ ආණ්ඩුවද මාමාටත් වඩා රෞද්‍ර ලෙස නීතිය අතට ගත් ආණ්ඩුවකි. දින සියයක් ඇතුළත ගෙනා 19 වැනි සංශෝධනය එක පවුලකට එරෙහිව ගෙනාවකි. එය බකපණ්ඩිතයන් කළ ගොං වැඩක් බව කියන්නේ ආණ්ඩුවේ ප්‍රධානියාය. විරුද්ධවාදීන්ට නඩු පටලවන්නට බල කළ හැටි ගැන, හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ දැනටමත් හෙළිදරව් කර ඇත. ආණ්ඩුව මූල්‍ය අපරාධ ගැන සොයන්නට හැදූ එෆ්සීඅයිඩීය නීති විරෝධී බව කියන්නේ හිටපු අග විනිසුරුය. ගෝඨාගේ නම අපරාධවලට ගෑවුවහොත් නිදහස දෙන බවට අත්අඩංගුවට ගත් හමුදා සහ පොලිස් ප්‍රධානීන්ට බලපෑම් කළා යැයි දැනටමත් දිව්රුම් ප්‍රකාශ රාශියකින් ප්‍රකාශ කර ඇත. මාගේ වචනය නීතිය වෙතැයි කීවේ පෙර රජවරුය. දැන් ඇමැතියකුගේ දෙන්නකුගේ වචනය නීතිය බවට පත් කර ඇත. නීතිය දරුණු ලෙසටම අතට ගත්තේ උගණ්ඩාවේ ඉඩිඅමීන්ය. ඉඩි අමීන්ගේ ආණ්ඩුවට එරෙහි වූ අගවිනිසුරුවරයා මරා ශීතකරණයේ තබා ගත්තේය. එබඳු රටක නීතිය අර්ථකතනය කිරීමේදී ඒ රටේ තිබෙන දේශපාලන තත්ත්වයට අනුව නම්‍යශීලී විය යුතු යැයි ආණ්ඩුක්‍රම විශාරදයෝ උගන්වති. ඒ අනුව නම්‍යශීලී වී දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මෙන් හදවතට එරෙහිව නීතිය ක්‍රියාවේ යෙදවූවෝ තව කොපමණ ඇද්ද? අපේ රටේද ආණ්ඩුවේ වුවමනාවට නීතිය අර්ථකතනය කරන්නට තමන්ට සිද්ධ වූ හැටි නඩුකාර හාමුදුරුවරු අනාගතයේ කියන්නට බැරි නැත.
 

More News..