brand logo

අවුරුදු 25කට පස්සේ එජාපයෙන් ජනාධිපතිවරයෙක් පත්කරගන්න අවස්ථාව තියෙනවා

14 April 2019

ඔබ ඉතාම වගකිවයුතු අමාත්‍යාංශ ගණනාවක රාජ්‍ය ඇමැතිවරයා. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිසංස්කරණ ඔබේ අමාත්‍යාංශ විෂයන්. ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනට අරගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද? පසුගිය රජය සමයේ අපගේ අපනයන ප්‍රතිශතය ඉතාම දුර්වල වුණා. අපනයන ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදනයෙන් 50%කට වැඩිය කඩා වැටීමක් තිබුණේ. ඒ නිසා වර්තමාන රජය අපනයනය ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ගෝලීය ආර්ථිකයට අපේ රටේ ආර්ථිකය සම්බන්ධ කිරීම තමයි මේ වන විට අප කරගෙන යන්නේ. ඒ තුළින් අප බලාපොරොත්තු වෙනවා සම්පත් සාධාරණ ලෙස ජනතාව අතර බෙදාහරින්න. කොතරම් දුරට මේ ක්‍රියාමාර්ගය සාර්ථක වෙලා තියෙනවද? ලංකා ඉතිහාසයේ වැඩිම අපනයනය ඇමෙරිකන් ඩොලර් බිලියන 15කට වඩා වැඩි ප්‍රමාණයක් ගිය වසරේ අපට හිමිවෙලා තියෙනවා. ඒ වගේම GSP+ සහනය සහ යුරෝපා සංගමයට මත්ස්‍ය අපනයනය තුළින් ඇඟලුම් හා ධීවර කර්මාන්තයේ විශාල වර්ධනයක් පසුගිය වසරවල සිදුවෙලා තියෙනවා. ගම්පෙරළියෙන් රට පෙරළන්න හදන්නෙ. ගමට පාරවල් හදනවලු. පන්සල් දියුණු කරනවලු. ගමේ ප්‍රශ්න විසඳනවලු. ගමට කෝටි ගණන් දෙනවලු. කොහෙද මේවා වෙන්නෙ? පසුගිය දේශපාලන කුමන්ත්‍රණයෙන් පස්සේ අපි ගම්පෙරළිය සඳහා රුපියල් මිලියන 48,000ක් වෙන් කළා. ලංකාව පුරාම සෑම ආයතනයකටම රුපියල් මිලියන 300 වන තෙක් වෙන් කරලා මේ වෙන කොට යෝජනා අරගෙන ඒවා අනුමත කරලා ක්‍රියාත්මක වෙනවා. මෙම යෝජනා අංශ 12ක් යටතේ අනුමත කෙරෙනවා. පාරවල් විතරක් නොවේ හදන්නේ. වැව්, පාසල්වල සනීපාරක්ෂක පහසුකම්, ක්‍රීඩා පිටි, පන්සල්, පල්ලි, ජල යෝජනා ක්‍රම. ඒ වගේම නිවාසවලට ස්ථිර වහලවල් සෑදීම, විදුලි බලය දීම වැනි අංග සම්පූර්ණ සංවර්ධනයක් ගමට ගෙනියන්න තමයි ගම් පෙරළිය ආරම්භ කළේ. අපි බලාපොරොත්තු වෙනවා ගම්පෙරළියෙන් විශාල පෙරළියක් ගම තුළ ඇති වෙලා සහන ලැබෙයි කියලා. ඔබ ඔය කියන තරම් පෙරළියක් ගැන ජනතාව දැනුවත් නැහැනේ? ජනතාව ඉදිරියේදි ඒ ගැන දැනුවත් වේවි. දැන් තමයි විශාල ලෙස එම ව්‍යාපෘති ගම්වල ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේ ව්‍යාපෘති දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ප්‍රා. ලේකම් කාර්යාලවලට මුලින්ම බාරදෙන්න ඕනෙ. 2019 වසර තුළ රුපියල් මිලියන 48,000ම වැඩ ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තමයි අපේ අරමුණ. ජාතික ප්‍රතිපත්ති හැදෙනවා වෙනුවට තියෙන ප්‍රතිපත්තීන් දවසින් දවස වෙනස් වෙනවා නේද? 2015 ඉඳල මේ රටේ තිබුණේ ජාතික ආණ්ඩුවක්. ජාතික ආණ්ඩුවක් තියෙන කොට විවිධ පක්ෂ ඒ ජාතික ආණ්ඩුවේ ඉන්න නිසා ප්‍රතිපත්තිවලට එකඟ වීම් මෙන්ම යම් යම් අදහස් වෙනස්වීම් තියෙනවා. සමහර වෙලාවට ජනතාවට පේනවා ඇති රජය තුළින්ම විවිධ පරස්පර ප්‍රකාශ ඉදිරිපත් වුණා මෙන්ම විවිධ මත පළ වුණ අවස්ථා. ඒ පිළිබඳ ප්‍රශ්නකාරී තත්ත්වය කෙළවර වුණේ දේශපාලන කුමන්ත්‍රණයකට පවා අපට මුහුණ දීමට සිදුවීමෙන්. නමුත් දැන් එක්සත් ජාතික පෙරමුණ හැටියට අපි ඉතාම ශක්තිමත්ව ඉදිරියට යනවා. අපේ ප්‍රතිපත්ති ඉතාම පැහැදිලියි. අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා අවුරුදු ගණනාවක් විශාල වෙනස්කම් කළා. 80 දශකයේදී යොවුන් පුරය ගැන රටම දැනගත්තා. තරුණ තරුණියන් වටවෙලා හිටියා. අද ඒ තත්ත්වය දකින්න නැහැ නේද? තාරුණ්‍යය අලුත්වෙලා. යොවුන්පුරය එකම තැන නේද? අගමැතිතුමා යොවුන්පුරය මේ රටට හඳුන්වල දෙනකොට බලාපොරොත්තු වුණේ රට තුළ විසිරිලා ඉන්න තාරුණ්‍යය එක තැනකට ගෙනල්ලා මේ රටේ ජාතික සංවර්ධන වැඩපිළිවෙළ සහ රටේ අනාගතය ගැන ඒ තාරුණ්‍යය දැනුවත් කරලා ඔවුන් රටේ සංවර්ධන ක්‍රියාදාමයට හවුල් කරගන්න. ඒ තමයි මූලික අදහස. ඒ නිසා රට වෙනස් වුණත් සමාජය වෙනස් වුණත් ඒ මූලික අදහස තුළ අපි හිටියා. ඒ නිසා යොවුන් පුරයේ මූලික රාමුව ගත්තහම එදා අවශ්‍යතාවම තමයි අදත් තියෙන්නෙ. රටේ සියලුම පළාත්වල ඉන්න විවිධ ජාති ආගම්වලට අයත් තාරුණ්‍ය එක තැනකට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම නවීන ලෝකයට රට ගෙනියන්න පුළුවන් ජාතික වැඩපිළිවෙළකට අපි තරුණයින්ව දැනුවත් කරල තියෙනවා. මේ තරුණයන් හුඟක් දෙනෙක් තමන්ගේ ගම්බිම්වලින් එළියට ගිහින් නැති අය. තමන්ගේ පළාතෙන් එළියට ගිහින් නැති අය. ලෝකය ගැන දන්නේ නැති අය. තාක්ෂණය සීමා සහිතව තමයි අත්විඳලා තියෙන්නෙ. ඉදිරි ජීවිතය ගැන ඔවුන්ට හරිහැටි අදහසක් නැහැ. නමුත් යොවුන් පුරය මගින් ඒ අදහස දීමට කටයුතු කරලා තියෙනවා. විදේශ තරුණ තරුණියොත් යොවුන් පුරයට ගේනවා. ඒ තුළිනුත් අපේ තාරුණ්‍යයට හොඳ අත්දැකීමක් ලැබෙනවා. ඔබ කියන්නේ යොවුන් පුරය පොලිටිකල් කැම්පේන් එකක් බවද? නැහැ. ඉස්සර අගමැතිවරු වගේ පැය 24ම යොවුන්පුර භූමියේ ඉඳලා ලොකු කටවුට් ගහමින් අපේ අගමැතිතුමා වැඩ කළේ නැහැ. ටීවී ඇඩ්වල දවස පුරාම හිටියේ නැහැ. මේක කිසිසේත්ම ප්‍රතිරූපය නංවන වැඩ සටහනක් වුණේ නැහැ. යම් යම් අවස්ථාවල යොවුන් පුරයේ වැඩසටහන්වලට අගමැතිතුමා සම්බන්ධ වුණත් එතුමා අවස්ථාව දුන්නේ තරුණයින්ට මේ වැඩසටහන කරගෙන යන්න. එක දේශපාලන පක්ෂයකට මේක සීමා වුණේ නැහැ. මෙයින් තරුණයින්ගේ එකමුතුභාවයත් වැඩි දියුණු වුණා. කොහොම වුණත් ජාතික තරුණ සේවා සභාවේ ඉස්සර තිබුණු ගැම්ම දැන් අහලකවත් නැහැ නේද? තරුණ සේවා සභාව හැදුවෙ අගමැතිවරයා. ඔහුම එම අමාත්‍යාංශය භාරව ඉන්න වෙලාවක මට හිතෙන්​නෙ ඒ වැඩකටයුතු හොඳින් සිදුවෙයි කියලා. නමුත් එය හදපු කාලයට වඩා අද සමාජය හුඟක් වෙනස්. එදාට වඩා අද තාක්ෂණය වෙනස්. එදාට වඩා අද තාරුණ්‍යය වෙනස්. ඒ හින්දා අපි ඒ වෙනසට තරුණ සේවා සභාව බඳුන් කරලා තියෙනවා. ඉස්සර තරුණ සේවා සභාව කියන්නේ නිල් බළකායේ කොටසක්. නමුත් අද තරුණ සේවා සභාව කොළ බළකායේ කොටසක් නොවේ. සමස්ත තාරුණ්‍යයට එය විවෘතයි. සමස්ත තාරුණ්‍යයටම තරුණ සේවා සභාව තුළින් සමාජයීය සහ ආර්ථික ඕනෑම අංශයකින් නූතන ලෝකයට යන්න පුළුවන් විදිහට ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. පුද්ගල ප්‍රතිරූප නංවනවා වෙනුවට අපි කරලා තියෙන්නෙ තාරුණ්‍යයට අවශ්‍ය පහසුකම් සැපයීමයි. තරුණ සේවා සභාව හරහා තරුණයින්ට මාර්ග සකස් කරලා දෙනවා. තමන් කැමැති මාර්ගයකින් ඉහළටම යාමට තමන්ගේ දැනුම හා හැකියාව භාවිත කරමින්. උතුර සංවර්ධනය කියලා කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ටික ගන්න වැඩක් නේද? නැහැ. උතුරේ සංවර්ධනය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය දෙයක්. අවුරුදු 30ක යුද්ධයකට උතුර මුහුණ දීලා තිබුණා. ජනතාවගේ යටිතල පහසුකම් නිවාස මෙන්ම ආදායම් මාර්ග මුළුමුනින්ම විනාශ වෙලා තිබුණෙ. ඒ හින්දා ඒ ජනතාවට නැවතත් මේ රටේ සමාජයට හා ආර්ථිකයට බද්ධ වෙන්න අවස්ථාවක් ලබා දෙන්න ඕන. එහෙම නැතිවුණොත් පරණ සිතුවිලිම ඒ අයට නැවත ඇතිවෙන්නත් පුළුවන්. ඒ නිසා වෙනම පළාතක් විදිහට ඒ අයව කොන් කරන්න බැහැ. ඒ හින්දා තමයි උතුරේ සංවර්ධනය අපේ ජාතික සංවර්ධනයේ වැදගත් කොටසක් හැටියට සලකන්නේ. එහි මුහුදු තීරයක් වගේම කෘෂි නිෂ්පාදන ප්‍රදේශ තියෙනවා. කර්මාන්තශාලා පිහිටුවීමට අවශ්‍ය පහසුකම් තියෙනවා. ඉගෙනගත් පරපුරක් ඉන්නවා. ඒ අයට වෘත්තීය පුහුණු අවස්ථාව දීලා එතුළින් ආර්ථිකයට විශාල ශක්තියක් ලබා ගන්න පුළුවන්. සමාජයීය වශයෙන් ගත්තත් ඒ අය එකතු කරගෙන රටක් හැටියට ඉදිරියට යන්න විශාල දායකත්වයක් ලබා ගන්න පුළුවන්. රජයේ සේවකයින්ගේ පඩි වැඩි කළත් පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන දෙයක් නැහැ. අමතක කරන්න එපා 80%ක් මේ ර​ටේ ඉන්නෙ පෞද්ගලික අංශයේ සේවකයින්? 1977 එක්සත් ජාතික පක්ෂය තමයි විවෘත ආර්ථිකය හඳුන්වලා දුන්නේ. ඊට ඉස්සෙල්ලා අපි දැක්කා රටේ ආර්ථිකය විනාශ කරපු පෝලිම් යුගයක්. රටේ අපනයනය විනාශ වුණු යුගයක්. ඒ වගේම පසුගිය රජය සමයේ වුණත් අපනයන ක්‍රියාවලිය විනාශ කරලා. ඒක අඩුකිරීම හේතුවෙන් හුඟක් ඇඟලුම් සහ ධීවර කර්මාන්ත ශාලාවලට විශාල හානියක් සිදු වුණා. ඒ නිසා පෞද්ගලික අංශයේ විශාල ප්‍රමාණයකට තමන්ගේ රැකියා අහිමි වෙලා ගියා. මේ අවස්ථාවේ අපි රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කළා. අපි බලාපොරොත්තු වෙනවා ඒ රාජ්‍ය සේවකයින්ට දුන්න පඩි වැඩිවීමට අනුකූලව යම් වැඩිකිරීමක් පෞද්ගලික අංශය සිදු කරයි කියලා. නමුත් අපිට පෞද්ගලික අංශයට බලකරන්න බැහැ පඩි වැඩි කිරීමක් පිළිබඳව. අපි අයවැය හරහා පෞද්ගලික අංශයට විශාල සහන ප්‍රමාණයක් ලබාදුන්නා. ඒ වගේම යුරෝපා සංගමය වගේ තැන්වල වෙළෙඳපොළ අවස්ථා පුළුල් කරලා තියෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි ණය යෝජනා ක්‍රම තුළත් පෞද්ගලික අංශයට විශාල ලෙස පොලී සහන රජය විසින් දීලා තියෙනවා. පෞද්ගලික අංශය ගෙවිය යුතු පොලී ප්‍රමාණය සියයට පණහක් රජය විසින් ගෙවන්න සැලසුම් කරලා තියෙනවා. මේ සියලුම සහන පෞද්ගලික අංශයේ සේවකයන් යම්තාක් දුරකට ශක්තිමත් කිරීමට යොදාගන්න පුළුවන්. එතුළත් තෘප්තිමත් පෞද්ගලික අංශයේ සේවකයෙක් වගේම හොඳ හැකියාව තියෙන තරුණයින් පෞද්ගලික අංශයට ඈඳාගැනීම තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න දායක වෙන්න පුළුවන්. අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමත් සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම තුළිනුත් පෞද්ගලික අංශයේ ආදායම් මාර්ග වැඩිකර ගැනීමට හැකිවීමත් ඔවුන්ට වාසියක්. ඉස්සර ජනතාව කිව්වේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලෙදි ආර්ථිකය හොඳ වෙනවා. අතේ සල්ලි තියෙනවා කියල. අද ඒ තත්ත්වය සැබවින්ම වෙනස් වෙලා.? 2015න් පස්සේ පොදු අපේක්ෂකයෙක් තෝරා ගෙන ජනාධිපති කරලා අපි වැඩ කෙරුවේ. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කියන්නේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් පක්ෂ දෙකක්. ඒ පක්ෂ දෙක එකට වැඩ කිරීමේදී ආර්ථික ප්‍රතිපත්තිවල යම් යම් වෙනස්කම් අපි දැක්කා. එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපති අතරත් ආර්ථික කරුණු සම්බන්ධයෙන් යම් යම් පරස්පරතා තිබුණා. ඒ නිසා ගිය අවුරුද්දේ දේශපාලන කුමන්ත්‍රණයෙන් පස්සේ අපි තීරණය කළා තනි ආණ්ඩුවක් රටේ ස්ථාපනය කරලා එකම ආර්ථික ප්‍රතිපත්තියක් උඩ ආර්ථිකය ශක්තිමත් කිරීමට. දැන් බලන්න මේ අලුත් ආණ්ඩුව තුළ මාස කිහිපයකින් රුපියල 4.5%කින් ශක්තිමත් වෙලා තියෙනවා. ඒ ශක්තිමත් වීම තුළින් අපේ රටේ ආර්ථිකය හොඳ වෙලා බඩු මිල අඩු වුණා ජනතාව උපයන රුපියල ඒ නිසා ශක්තිමත් වෙලා තියෙන්නෙ. ජනාධිපතිවරණයක් අත ළඟ. ​මොනවද ජනතාවට දෙන්නෙ? මේ ජනාධිපතිවරණය තුළින් අවුරුදු 25කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් බිහි කර ගැනීමේ අවස්ථාව අපට උදාවෙනවා. දැන් මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ 2019 අයවැය ඉතා විශිෂ්ට අන්දමින් අපි ජයග්‍රහණය කළා. ඒ යෝජනා මේ වසර තුළදී ඉතාම කාර්යක්ෂමව ක්‍රියාවට නංවනවා. ඒ අයවැයේ පොරොන්දු ඒ අයුරින්ම ලබා දෙනවා. 2015 ඉඳලා අපි ජනතාවට නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සුදු වෑන්වලින් තොරව ජීවත් වීමේ අයිතිය ලබාදුන්නා. මේ රටේ පැවැති ඒකාධිපතිවාදය පැරදවීමට එක්සත් ජාතික පක්ෂය නායකත්වය දුන්නා. ඒ නිසා නැවතත් ජනතාව තීන්දු කරයි ඒකාධිපතිවාදය මේ රටේ ස්ථාපනය වීමට ඉඩ දෙනවාද නැද්ද කියන කාරණය, නැවතත් සුවසැරිය ඇම්බියුලන්ස් වෙනුවට සුදු වෑන් ගෙවල්වලට ගෙන්න ගන්නවද? නැවතත් මේ ර​ටේ ඝාතන, පැහැරගැනීම්, ජාතිවාදය සහ ආගම්වාදයට හිස ඔසවන්න දෙනවාද කියන එක. මේ රටේ අන්තවාදය පරාජය කරන්න ජනතාව එක්විය යුතුයි. ඉතිහාසයේ ඉතාම වැදගත් මෙන්ම තීරණාත්මක ජනාධිපතිවරණයට මුහුණ දීමටයි සිදුවෙන්නේ. ඔක්තෝබර් 26 සිද්ධියේදී අවදි වුණු පාක්ෂිකයින් දැන් ආපහු ඈත් වෙලා නේද? අපි ඔක්තෝබර් 26 ඉතාම බරපතළ සටනක් කළේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආර්ථික නිදහස වගේ ඒවා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. එදා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස අගමැති අයින් කරලා කැබිනට් මණ්ඩලය අයින් කරලා කරන්න ගිය කුමන්ත්‍රණයට එරෙහිව පාක්ෂිකයෝ විතරක් නොවේ සමස්ත ජනතාව විශාල ලෙස විරෝධය පළ කරලා එකතු වුණා. ඒ ජයග්‍රහණයත් සමගම එක්සත් ජාතික පාක්ෂිකයාගේ බලාපොරොත්තු ඉටු කරන්න ඕනේ කියන අදහසින් රජය කටයුතු කරන්නේ. මේ වන විට අපි දේශපාලන පළිගැනීම්, රැකීරක්ෂා සමෘද්ධිය වැනි පාක්ෂිකයන්ට අවශ්‍ය කාරණාවලට පක්ෂය යහපත් ලෙස පිළිතුරු දෙනවා. අයවැය මගින් සමෘද්ධිය වැඩි කළා. උපාධිධාරීන්ට සහ අ.පො.ස. උසස් පෙළ අයට අවශ්‍ය රැකියා උත්පාදනය වැඩි කරලා තියෙනවා. අපේ පාක්ෂිකයන් ශක්තිමත් කරන්න මේ දේශපාලන කුමන්ත්‍රණයෙන් පස්සේ අපි වැඩ කරගෙන යනවා. ඔබ කොහොම කිව්වත් ආණ්ඩුව ජනතා ප්‍රශ්න තේරුම් ගත් බවක් පෙනෙන්න නැහැ නේද? ජනතාව අපේ රජයට අභියෝග කරලා තියෙනවා. නමුත් අපි ඒ දේවලට පිළිතුරු සපයලා තියෙනවා. අපි අයවැ​යේදී ජනතාවාදී යෝජනා ඉදිරිපත් කළා. ඒක විපක්ෂයත් පිළිගත්තා. ඒ යෝජනාවලට විරුද්ධ වෙනවා වෙනුවට ඔවුන් ප්‍රශ්න කළේ මේ දේවල් කරන්න අපට මුදල් තියේද යන්න විතරයි. අභියෝගය වෙන්නේ මේ ජනතාවාදී යෝජනා ක්‍රියාත්මක කිරීම පමණයි. මේ යෝජනා ක්‍රියාත්මක කරන කොට ජනතාව යථාතත්ත්වය තේරුම් ගනීවි. රට හැම තැනම දිනපතාම උද්ඝෝෂණ. ජනතාව නොසන්සුන්. මේ තත්ත්වය එතරම් සුවදායක නැහැ නේද? අපි දැක්කා විවිධ කණ්ඩායම් පසුගිය අවුරුද්දෙ උද්ඝෝෂණ මෙහෙයවනවා. දිනපතාම වගේ උද්ඝෝෂණ පවත්වමින් ඒ අය රටේ ප්‍රශ්න තිබෙන බව අඟවන්න උත්සාහ කළා. නමුත් පසුගිය කුමන්ත්‍රණ මාස දෙක තුළදී මේ උද්ඝෝෂණ රැල්ල එක පාරටම අවසන් වුණා. අපි දැක්කෙ නැහැ මේ දින 52 තුළදි එකම උද්ඝෝෂණයක්වත්. අපිට අහන්න සිදුවෙනවා එකපාරටම මේ උද්ඝෝෂණ නැතිවෙන්න මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව දුන්න විසඳුම මොකක්ද කියලා. ඒ උද්ඝෝෂකයින්ට කිසිම විසඳුමක් දෙන්නේ නැතිව අවසන් වුණේ කොහොමද කියලත් අහන්න සිදුවෙනවා. එයින් එකක් පැහැදිලියි. මේ උද්ඝෝෂණ පිටු පස්සේ ඉන්නේ මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම් කියලා. ඒ අයගේ හෙන්චයියන් තමයි උද්ඝෝෂකයන් රටට බස්සලා රටට එන ආයෝජකයින් නවත්තන්න, රටේ තියෙන සාමකාමීව පරිසරය නැතිකරන්න ජනතාවට මානසික පීඩනයක් දීලා රට පිටුපසට යනවා කියන්න කරන දේවල්. දැන් ආපසු එදා නැවතුණු උද්ඝෝෂණ පටන් අරන් රට ගිනි තියන්න මාන බලන බවක් පේනවා. නමුත් අපි ඒ සියල්ල පරාජය කරනවා. ජනාධිපති අපේක්ෂකයා තෝරන කොට පක්ෂය ඇතුළේ ප්‍රශ්න ඇතිවෙයි නේද? දැනටම එහි පෙරනිමිති පහළ වෙලා? ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළයි. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට ජනාධිපති අපේක්ෂකයා තෝරන ක්‍රියාදාමයක් තියෙනවා. අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තියෙනවා. ඒක ස්වාධීනයි. විවිධ මත තියෙනවා. අපි හැම අවස්ථාවකම එක මතයකට ඇවිල්ලා අපේ අපේක්ෂකයා තෝරා ගන්නවා. ඒ වගේම අපේ පක්ෂයේ විශේෂ සම්මේලනයක් තියලා ඒ අපේක්ෂකයා නම් කරනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. රාජපක්ෂලා වගේ අපි අපේක්ෂකයෝ තෝරන්නේ නැහැ. පොහොට්ටුවට රාජපක්ෂලාගෙන් තොර කෙනෙක් නැහැ. අපිට කිසිදු භේද භින්න වීමකින් තොරව අපේ අපේක්ෂකයා තෝරා ගන්න පුළුවන්. අපි පටු අරමුණු වෙනුවෙන් වැඩ කරන පක්ෂයක් නොවේ. ඒ නිසා එකාවන්ව අපේ අපේක්ෂකයා දිනවන්න සියලු දෙනාම එකතු වී වැඩ කරනවා. ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළයි. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට ජනාධිපති අපේක්ෂකයා තෝරන ක්‍රියාදාමයක් තියෙනවා. අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තියෙනවා. ඒක ස්වාධීනයි. විවිධ මත තියෙනවා. අපි හැම අවස්ථාවකම එක මතයකට ඇවිල්ලා අපේ අපේක්ෂකයා තෝරා ගන්නවා. ඒ වගේම අපේ පක්ෂයේ විශේෂ සම්මේලනයක් තියලා ඒ අපේක්ෂකයා නම් කරනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ජනතාව අපේ රජයට අභියෝග කරලා තියෙනවා. නමුත් අපි ඒ දේවලට පිළිතුරු සපයලා තියෙනවා. අපි අයවැ​යේදී ජනතාවාදී යෝජනා ඉදිරිපත් කළා. ඒක විපක්ෂයත් පිළිගත්තා. ඒ යෝජනාවලට විරුද්ධ වෙනවා වෙනුවට ඔවුන් ප්‍රශ්න කළේ මේ දේවල් කරන්න අපට මුදල් තියේද යන්න විතරයි. අභියෝගය වෙන්නේ මේ ජනතාවාදී යෝජනා ක්‍රියාත්මක කිරීම පමණයි. මේ යෝජනා ක්‍රියාත්මක කරන කොට ජනතාව යථාතත්ත්වය තේරුම් ගනීවි. දිප්ති ප්‍රමිතා අධිකාරී
 

More News..