brand logo

අවුරුදු 30ක් එකම තැනක උන්නේ මම විතරද?

13 February 2021

ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය කී බෝඩ් වාදකයා ලෙස ඔහු කටයුතු කළ කාලය අවුරුදු 30යි. පුරා අවුරුදු 30ක් එකම සංගීත කණ්ඩායමේ සිටි පුද්ගලයා ඔහු විය යුතුමය. මේ කාලය තුළ සංගීත කණ්ඩායමේ දෙමළ ගීත ගායනා කළා හැර ඔහු කිසිදු ගීතයක් ගායනා කළේ නැත. ඔහුගේ පහළොස් හැවිරිදි පුතා පසුගියදා සංගීත නිර්මාණය කරන ලද නිල්වන් මුහුදුතීරේ ගීතය දැනට මිලියන පහකට ආසන්න පිරිසක් නරඹා ඇත. අවුරුදු තිහක් නිහඬ ගමනක සංගීත යාත්‍රාව පැද වූ අරුණ තමෙල් සහ නිල්වන් මුහුදු තීරේ ගීතය නිර්මාණය කළ ඔහුගේ පුත් කෙවින් ඇන්ජලෝ තමෙල්ව අපි මුණ ගැහුණා.... මුලින්ම අපි කතා කළේ අරුණ තමෙල් සමග.... කවද්ද ප්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණේ? දැනට අවුරුදු 30කට කලින් අවුරුද්ද කියනවා නම් 1991 වර්ෂයේ. අවුරුදු 30ක් එකම සංගීත කණ්ඩායමේ සිටි පුද්ගලයා ඔබ වෙන්න පුළුවන්? මමත් එහෙම හිතනවා. ගණන් කරන්න බැරි ප්‍රසංග සංඛ්‍යාවකට ෆ්ලෑෂ්බැක් සමග සහභාගි වුණා... මටත් තාම එකම සංගීත කණ්ඩායමක සිටි සාමාජිකයෙක් මුණගැහිලා නැහැ. අවුරුදු 30ක් ඉන්නකොට ප්‍රශ්න ඇති වුණේ නැද්ද? ප්‍රශ්න ඇති නොවන්නේ කොහේද? ප්‍රශ්න ඕන තරම් ආවා. හැබැයි හැම දේකටම ඉවසීමෙන් මුහුණ දුන්නා. අපි තවත් කෙනෙක්ගේ යටතේ ඉන්නකොට බොහෝම ඉවසිලිවන්තව ඉන්න ඕන. බොහෝ සංගීත කණ්ඩායම්වල සාමාජිකයන් ටික කාලයකින් කණ්ඩායම් අතහැර යනවා. ඔබට වෙන කාගෙන්වත් ආරාධනා ලැබුණේ නැද්ද? ආරාධනා ලැබුණා. අනික් අය අපිව ඉත්තෝ කරගෙන අපිවත් අරගෙන යන්න උත්සාහ කරපු අවස්ථා තිබුණා. නමුත් මම හැම වෙලේම මම ඉන්න තැනට ගෞරවය දැක්වූවා. මම හැදුණේ ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම සමග.. මගේ මහගෙදර එතන...කොහේ ගියත් අවසානයේ මහ ගෙදරට එන්න වෙනවා. අපිව ඉත්තෝ කරගන්න ගිය අය අද කැපිලා විසික්වෙලා ඉන්නවා දකිනකොට මම ගත්තු නිවැරදි තීරණය ගැන උපරිමයෙන් සතුටු වෙනවා. ඔබ හීන දැක්කේ කීබෝඩ් වාදකයෙක් වෙන්නමද? මගේ අයියා ජූඩ් සමන්ත තමයි සංගීතයට පිස්සු වැටිලා උන්නේ. නමුත් පල්ලිය එක්ක තිබ්බ සම්බන්ධය නිසා මටත් සංගීත ආසාවක් තිබුණා. පුංචි කාලේ ඉඳන් අද වනතුරු පල්ලියේ ගීතිකා කණ්ඩායම සමග කටයුතු කරනවා. සංගීතය නිසා ලැබුණ වටිනාම දේ මොකක්ද? මගේ බිරිඳ මට මුණගැසෙන්නේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ඉන්නකොට... දැන් මට පුතාලා දෙන්නයි දුවෙකුයි ඉන්නවා. අපි පස්දෙනා තාමත් පල්ලියේ සංගීත කටයුතුවල ඉන්නවා. මේ හැම දෙයක්ම දෙවියන් මට දුන්න දේවල් කියලා මම විශ්වාස කරනවා. ඒ කාලේ ෆ්ලෑෂ්බැක්ලට අභියෝග වෙච්ච සංගීත කණ්ඩායම් මොනවද? සන්ෆල්වර්, මේරියන්ස්, බ්ලුෂැඩෝස්, ගැලැක්සි, ෂන් ෂයින්,මාරිම්බා වගේ සංගීත කණ්ඩායම් එක්ක තරග කරලා තමයි මෙතනට ආවේ. ​කොහොමද මේ ආධිපත්‍ය බිඳගෙන ඔබලා ඉදිරියට එන්නේ? අපි රැල්ලේ සංගීත කණ්ඩායමක් වුණේ නැහැ. අනිත් සංගීත කණ්ඩායම් මුල්ම ගීතයේ ඉඳන් ප්‍රේක්ෂකයන්ට නටවන්න බැලුවේ. නමුත් අපි ස්ලෝ සින්දු කියලා මෙයාලට රසයක් දුන්නා. අනිත් කාරණාව තමයි හුඟාක් කණ්ඩායම්වල අය ගල්පිළිම වගේ වේදිකාව උඩ හිටගෙන උන්නා. අපි එන්ටර්ටේට්මන්ට් පැත්ත උපරිමයෙන් ලබාදුන්නා. මුල්ම සාමාජිකයන් කීයක් ඉන්නවද? අද ඉන්නේ රොෂානුයි, කිංස්ලියි මමයි විතරයි. අනික් හැමෝම විටින් විට මාරු වුණා. අවුරුදු තිහක් සංගීත කණ්ඩායමේ ඉඳලත් ඔබ තාමත් තනි ගීතයක් ගායනා කරලා නැහැ? මට ඒ ගැන ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. කණ්ඩායමේ කීබෝඩ් වාදක ශිල්පියා හැටියට කණ්ඩායමට මගෙන් ඉටුවිය යුතු උපරිම රාජකාරිය කළා මිසක් එතනින් එහා දෙයක් ගැන මට හිතුණෙත් නැහැ... ඔබට ගීත ගායනා කරන්න බැරිද? පුළුවන්. කණ්ඩායමේ දෙමළ ගීත ගායනා කරන්නේ මම. මට ඕන වුණේ බෑන්ඩ් එකේ මගේ පාට් එක කරන්න විතරයි. ඔබ දෙමළ නෙවේනේ, නැහැ නැහැ. නමුත් කණ්ඩායමේ දෙමළ ගීත ගායනා කරන්න කවුරුත් උන්නේ නැහැ. මම ඒ අඩුව සම්පූර්ණ කළා. මම සංගීත කණ්ඩායමට හරිම ආදරෙයි. ඔබට වඩා ඉක්මනින් ඔබේ පුතා ක්ෂේත්‍රය ආක්‍රමණය කරලා නේද? ඒක ඇත්ත... අවුරුදු 50ක් ආසන්න වෙලත් තාම මං ජනප්‍රිය ගීතයක් කරලා නැහැ. හැබැයි අවුරුදු 15දී මගේ පුතා රටම දන්න චරිතයක් වුණා. දරාගන්න බැරි ලොකු සතුටක් තියෙන්නේ. පුතා සංගීතයට ආවේ ඔබ නිසාද? අපේ ගෙදර ඔක්කොම සංගීතයට ලැදියි. මට හිතුණා මගේ පුතත් ඉදිරියට යන්නේ සංගීතය පැත්තෙන් කියලා. අවුරුදු දහතුන වෙනකොට ඔහු ගායනා අංශයේ විශාරද කෙනෙක්. මීට අමතරව ගිටාර් හා පියානෝ වාදනයටත් හරිම දක්ෂයි. හැබැයි ඔහු මුලින්ම වැඩ පෙන්නන්නේ මේ කිසිම දෙයකින් නෙවේ? ඒක තමා පුදුමේ. මේ දේවල් කළාට එයා කැමැති ට්‍රැක් හදන්න. නිල්වන් මුහුදු තීරේ අලුත් ට්‍රැක් එක මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ. මට අවුරුදු හතළිහක් උත්සාහ කරලා කරන්න බැරිවෙච්ච දේ ඔහු අවුරුදු පහළොවෙන්ම කළා. එයා දිගටම ​මේ පැත්තෙන්ම ඉදිරියට යාවිද? එයා දක්ෂ ඒකට තමයි. මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු එයා ඒ පැත්ත තෝරාගනියි. මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. අවුරුදු 30කට පස්සේ ඔබ ඔබේම දෙයක් ආරම්භ කරලා තියෙනවා නේද? පරක්කු වෙලා හරි මගේම කියලා ශබ්දාගාරයක් ආරම්භ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. වේව් ලයින් (WAVE LINE) කියන්නේ ශබ්දාගාරයක් විතරක් නෙවේ. සංගීතය වෙනුවෙන්ම නිර්මාණය කළ විශේෂ තැනක්. මොකක්ද මෙහි ඇති විශේෂත්වය? ගීත පටිගත කරන්න පුළුවන්. සංගීත භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. සංගීතය ඉගෙන ගන්න පුළුවන්. හැම පහසුවක්ම WAVE LINE වලට ආවොත් ඉටු කරන්න පුළුවන්. විශේෂයෙන් වියදම් කරන්න පුළුවන් මුදලට සේවාවක් ලබාදෙන එක තමා මගේ අරමුණ. ප්ලෑෂ් බෑක්වලින් සමුගන්න හිතාගෙනද මේ වගේ කළේ? මම මගේ අතින්ම හුස්ම යනකම් ෆ්ලෑෂ් බැක් එකේ ඉන්න කැමැතියි. අනිත් අය මේ වගේ දෙයක් කරනකොට ලොකු පබ්ලිසිටියක් දෙනවා. නමුත් ඔබ නිහඬ ගමනක් යනවා. ඉස්සර ඉඳන්ම මම නිහඬව තමයි වැඩ කරන්නේ. අවුරුදු 20ක් තිස්සේ ඉඳන් ගෙදර කාමරේක මම රෙකෝඩින් කරන්නේ. පල්ලිවල ගීත දහස් ගාණක් කළා. වැඩ නැත්නම්නේ ප්‍රචාරයක් දෙන්න ඕන. බෑන්ඩ් එකේ වැඩත් එක්ක කරගන්න බැරි තරම් වැඩ තිබුණා. කොරෝනා ප්‍රශ්නයත් එක්ක තමයි වැඩ ටිකත් අඩු වුණේ. කොච්චර කාලෙකින් ප්‍රසංගයකට ගියේ නැද්ද? අවුරුද්දකින් විතර මම ප්‍රසංගයක් කරලා නැහැ. පසුගිය දවස්වල ජීවත් වුණේ රෙකෝඩින්වලින් ලැබුණු මුදලින් තමයි. සංගීතය නිසාද ඔබ ඔය තරුණ බව රැකගෙන ඉන්නේ. බිරිඳ දිල්හානි, පුතාලා දෙන්නා කෙවින් සහ ඩිශේන්, මගේ ආදරණීය දෝණි ක්‍රිස්ටීන් අපි හැමෝම සංගීතය වෙනුවෙන් තමයි ඉපදිලා ඉන්නේ. සතුට නිසා මට වයස ගැන හිතෙන්නේ නැහැ. අරුණ තමෙලුට ඒ ආකාරයට සමුදීලා නිල්වන් මුහුදේ තීරේ ගැන කතා කරන ඔහුගේ පහළොස් හැවිරිදි පුත් කෙවින් ඇන්ජිලෝ තමෙල් පැත්තට අපි යොමු වුණා. හිතුවද මේ ගීතය මෙච්චර ජනප්‍රිය වෙයි කියලා? ඒහෙම කිසිම දෙයක් හිතලා නෙවේ මේ ගීතය කළේ.. හෙක්ටර් අංකල් කරමු කිව්වා. මමත් වැඩේ කළා. කොහොමද හෙක්ටර් අංකල්ව මුණගැහෙන්නේ? හෙක්ටර් අංකල් තාත්තිගේ යාළුවෙක්. දවසක් තාත්තිගෙන් වැඩක් කරගන්න ගෙදර ආවා. තාත්තිත් කියලා මමත් සිංදු කරනවා කියලා. ඉස්කෝලේ අක්කලා දෙන්නෙක්ම මම කරපු ට්‍රැක් දෙකක් හෙක්ටර් අංකල්ට අහන්න දුන්නා. මරු ට්‍රැක් එක කියලා හෙක්ටර් අංකල් කිව්වා. මගේ වයසේ හැටියට එයා පුදුම වුණා. මගෙත් කවර් වර්ෂන් එකක් තියෙනවා කරමුද කියලා ඇහුවා. හෙක්ටර් අංකල් නිල්වන් මුහුදු තීරේ ගීතය මට දුන්නා. ඒකට අලුත් වර්ෂන් එකක් කරන්න කිව්වා. මීට කලින් ඔබ ඒ ගීතය අහලා තියෙනවාද? මට එච්චර මතකයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම ඒ ගීතය ඇහුවා. ඒකට කරලා තිබුණ කවර් වර්ෂන් කීපයකුත් ඇහුවා... ඒකට සමානව ඉංග්‍රීසි ගීත කීපයකුත් අහලා තමයි අලුත් ට්‍රැක් එක හැදුවේ. වැඩේට කොච්චර කාලයක් ගියාද? මම දවස් පහක්ම සින්දුව ඇහුවා. ඊට පස්සේ මේ අලුත් ට්‍රැක් එක හදන්න දවස් හතක් ගියා. මේකේ විෂුවල් එක ගැනත් හෙක්ටර් අංකල් කියලා තිබුණ නිසා හැම දෙයක්ම ඔළුවේ තියාගෙන තමයි ට්‍රැක් එක හැදුවේ. කොහොමද මේ දවස්වල ඉල්ලුම.. හොඳ ප්‍රතිචාර තියෙනවා. මේරියන්ස් එකේ නලීන් අංකල් කතා කරලා ගීතයක් කරමු කිව්වා. රොෂාන් ප්‍රනාන්දු අංකල් සුබ පැතුවා. නදීර අංකල්ගේ පරණ ගීයෙන් ආයෙත් කරමු කිව්වා. විභාගය නිසා පොඩ්ඩක් පාඩම් වැඩවලටත් හිරවෙලා ඉන්නේ. අනාගතේ කොහොමද ප්ලෑන් කරන්නේ? රෙකෝඩින් ඉන්ජිනියරින් කෝස් එකක් කරන්න ඕන. ඊට පස්සේ වෙනත් රටකට ගිහින් සවුන්ඩ් ඉන්ජිනියරින් කරලා ජාත්‍යන්තර වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔබට හොඳ කටහඬක් තියෙනවා නේද? විශාරද විභාගයත් සමත් වුණා. තාම ගීත කියන්න තරම් කටහඬ හැදිලා නැහැ කියලා හිතෙනවා. වැඩි කැමැත්ත තියෙන්නේ ගීත හදන්න. තාම තාත්තා ගීතයක් කරලා නැහැ. ඔහුට ගීතයක් කරන්න කැමැත්තක් නැද්ද? මේ දවස්වල තාත්තට ගීතයක් නිර්මාණය කරමින් යනවා. කොහොම හරි තාත්තා ලවා ගීතයක් කියවනවා. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඡායාරූප - රුවන් පෙ​රේරා
 

More News..