brand logo

අවුරුදු 20ක් අනුරපුර වන්දනාකරුවන්ගේ පිපාසය නිවන වතුර දානය

23 June 2019

‘කන්දේ ගෙදර’’ කියන්නේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ කවුරුත් දන්න නිවසකි. මිනුවන්ගොඩ බෝටියාවත්ත ගමේ කන්දෙගෙදර දොන් ජොහානිස් ජයසිංහ මුදලාලි ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය අයෙකි. ඔහුට කොළඹ පරණ නගර ශාලාවේ හාල්, කුළුබඩු සිල්ලර කඩයක් තිබිණි. ඒ කාලේ ඒක සරු ව්‍යාපාරයකි. මේ ව්‍යාපාරයට අමතරව මිනුවන්ගොඩ නගරයේ කඩ කීපයක අයිතිය වගේම අක්කර විසි-තිස් ගාණක පොල් ඉඩම් හා තවත් වතු කීපයක්ම ඔහුට තිබුණි. ජොහානිස් ජයසිංහ මුදලාලිගෙ සෙනේබර බිරිය කරුණාවතී ජයසේකරය. මේ යුවතිපතීන් ලද  පුතුන් තිදෙනා හා දුව සහිත දරුවන් අතර වැඩිමලා සුනිල් ජයසිංහය. “අපේ තාත්තා නිසා අපට ප්‍රදේශයෙ යමක් කමක් තිබ්බා. ඒ වගේම එයා කාටත් උදව් කරගෙන හිටපු කෙනෙක්. මාවත් අරගෙන ඒ කාලේ තාත්තා අනුරාධපුර වන්දනා ගමන් බිමන් නිතර ගියා.” සුනිල් ජයසිංහ ඒ මතක් කළේ අවුරුදු තිස් හතළිස් ගාණකට එහා කතාවකි. ජොහානිස් මුදලාලිත් යටියන සිංහායුර්වේදයේ අධිපති රණසිංහ මුදලාලිත්, බුලත්සිංහල මහත්තයා ඇතුළු එවක මිනුවන්ගොඩ ප්‍රභූන් එක්ව මිහින්තලයේ ටොනික් දන්සැලක් පවත්වා ඇති අතර ඔවුහු එක්ව අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාව ආරම්භ කර ඇත. “තාත්ත ඇතුළු මිනුවන්ගොඩ  කට්ටිය එක්වෙලා අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාව ආරම්භ කරලා තිබ්බේ 1950 දී. මුල්ගල් තිබ්බ උත්සවේට මාවත් එක්ක ගියා. සීමාසහිත ශ්‍රී අනුරාධපුර සිසිල්පාන හා ආහාරදාන සමිතිය ආරම්භ කළාම ඒකෙ ආරම්භක භාණ්ඩාගාරික වුණේ තාත්තා. රත්නමාලි පොසොන් දන්සැලේ පුරෝගාමියෝත් ඔවුන්.” මිනුවන්ගොඩ ප්‍රාථමික විද්‍යාලය, මිනුවන්ගොඩ නාලන්දා මහා විද්‍යාලය, නුවර කිංග්ස්වුඩ් විද්‍යාලය යන විද්‍යාලයන්හි අධ්‍යාපනය ලද සුනිල් ජයසිංහ කුඩා කල දඩබ්බර හිතුවක්කාරයෙකි. එනිසාම 3 වසර පන්තිභාර ගුරුතුමීට දෙමාපියන් විසින් ඔහුව භාර දී තිබුණේ ඇගේ නිවසේ හදා වඩා ගන්නය. තුන වසරේ බමුණුආරච්චි ගුරුතුමියත්, ගුරුතුමියගෙ සැමියාත් දයාවෙන් සෙනෙහසින්  සුනිල්ට රැකවරණ දී ඇත. එම ගුරු යුවළට  දරුවන් නොමැති අඩුව සුනිල් නිසා මැකීයාමත් හේතුවෙන් ගෙදරටත් වඩා සුනිල්ට සැප පහසුකම් උරුමව තිබිණ. එසේ වුවත් වසර හතරකින් පසු මහනුවර කින්ග්ස්වුඩ් පාසල් නේවාසිකාගාරයක නතරව ඉගෙන ගන්ට ඔහුට සිදු විය. “මම උසස් පෙළ ලියලා ගෙදර ඇවිත් ගෙදර ඉඩම් හා කඩවල පාලන වැඩ කළා. තාත්තා නිතර මහා දන් දුන්නා. අවුරුද්දකට සැරයක් අපේ ගෙදර තුන්තිස් පෑ පිරිතක් කියලා ලොකූ සාංඝික දානයක් දුන්නා. මට ඕනකම තිබ්බා කොහු මෝලක් දාන්න. ඒකට බද්දට ඉඩමක් හොයන්න මම හැම තැනම ඇවිද්දා. කොහු මෝලක් බද්දට අරගෙන හරි කරන්න ඕන කියන සිතිවිල්ල තිබ්බා. ඒ කාලේ කොහු මෝලක් කියන්නෙ හොඳම නම්බුකාර බිස්නස් එකක් තම පුතුගේ කොහු මෝල්  අදහසට කිසිසේත් කැමැත්තක් නොදැක්වූ අම්මා මොකක් නමුත් රැකියාවක් කර හොඳ තැනකින් විවාහයක් කරගෙන ඉන්නැයි නිතර කියා තිබිණ. මිනුවන්ගොඩ නගරයේ කුලියට දුන් කඩ සහ වතු ආදායම් පාලන කටයුතු තරුණ සුනිල් විසින් එවක සිදුකර ඇත. 1971 දී සුනිල් ජයසිංහ ගුවන් හමුදා ඉංජිනේරු බළකායට බැඳුනේය. “ගුවන් හමුදාවට යන කාලෙම මම අපේ නෑදෑ ගෑනු  ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබ්බා. ඉතින් ගුවන් හමුදාවට ගිහින් 3 වන අවුරුද්දෙදි ජයට මඟුල් කාලා ඒ ළමයා කැන්දන් එන්න සතියක් තිබියදී කලින්ම ගෙදර එක්ක ආවා. ඒ මගේ බිරිඳ ඉන්ද්‍රානි ප්‍රේමරත්න.” මේ කාලවකවානුව වනවිට සුනිල් පොඩියට කාර් බිස්නස් එකක් පටන් ගෙන තිබුණි. ‌මේ කාර්යයෙන් වාසි වන විට ඔහු ගුවන් හමුදාවෙන් ඉවත් වීමට තීරණය කළේය. “මම 1976 දී ගුවන් හමුදාවෙන් ඉවත් වුණා. අපේ ඉඩමක කාර් සේල් එකක් තිබ්බා වෙන කෙනෙක් බද්දට අරං. බදු කාලයෙන් පස්සෙ මම කාර් සේල් එක පටන් ගත්තා. ඒ කාලේ කාර් ගණන් නෑනේ. මම වරක් වොක්ස්වැගන් එකක් ගත්තා රුපියල් නව දාහටත්. මට ඕන වුණා බුල්ඩෝසර් කිහිපයක් ගන්න, ඔය පස් කපන වැඩ වගෙ විවිධ වැඩවලට. මාර කට්ටක් කාලා කෑලි කෑලි තැනින් තැනින් අරං මම ඩෝසරයක් එකලස් කරගත්තා. ගුවන් හමුදා ඉංජිනේරු බළකායෙදි නම්බරේට කෑලි සෙට් එක් කරලා අලුත්වැඩියා කරන වැඩ මම හරියටම ඉගෙනගෙන හිටියේ.” එකලස් කරගත් ඩෝසරයෙන් වැඩ ආරම්භ කළ දේ ඔහු අද තම දරුවන්ට පවරා සතුටින් බලා සිටින, මිනුවන්ගොඩ ‘සුනිල් ජයසිංහ ඇන්ඩ් සන්ස්’ ඩෝසර් ලෝඩර් කොටස් අලෙවි කරන ව්‍යාපාරයේ ආරම්භකයාය. සාර්ථක ව්‍යාපාරක අධිපති වුවද අනුරාධපුරයට ශ්‍රී මහා බෝධියට, රුවන්වැලිසෑයට, මිහින්තලයට ඔහු තුළ තාත්තා ළඟ තිබූ ගෞරවය ආදරය ශ්‍රද්ධාව පිහිටා තිබිණි. “තාත්තා කළා වගේම රත්නමාලි දන්සැල පවත්වාගෙන යාමේ කාර්යයේ මමත් වගකීම් ගත්තා. අපේ පිරිස් සමග එක්වෙලා ඒවා කරගෙන ගියා. මම අනුරාධපුරේ එන යනකොට දැක්ක මූලික කරුණක් තමයි එහෙ වතුරෙ කිවුල ගතිය. තිබහ ඇරෙන්නෙ නැති ගතිය. ඒ නිසා පොසොන් කාලේට වන්දනාවේ එන අය පත්වෙන්නෙ ලොකු අපහසුතාවකට. 1990 දී වතුර ලීටර් 600ක් මම මිනුවන්ගොඩ ඉඳලා අරගෙන ඇවිත් බෙදා දුන්නා.” ඔහු 1990 වතුර ගෙනවිත් තිබෙන්නෙ ග්ලූකෝස් ප්ලාස්ටික් බැරල් 3කය. එකක ධාරිතාව ලීටර් 200කි.  ලීටර් 600ක එදා සුනිල්ගේ වතුර දානය කියා කෙනෙකුට හිතුනද ඔහු ගෙනා වතුර  1990 දී කෙනෙක් ලීටර් භාගයක් ජලය පානය කර පිපාසය නිවාගත්තේ නම් පිපාසය නිවාගත් පිරිස 1200කි. “1991 අවුරුද්දෙ මම ග්ලූකෝස් ප්ලාස්ටික් ටැංකි 13ක පිරිසුදු ජලය පුරවා මගෙ ලොරිවල දාගෙන පොසොන් එකට ගෙනත් වන්දනාකරුවන්ගේ පිපාසය නිවන්න දායක වුණා. ඒ අවුරුද්දෙ වතුර ලීටර් 2600 ක් බෙදා දුන්නා. මම කල්පනා කළා මෙහෙම දීලා ප්‍රමාණවත් නෑ. මම මේ පිංකමට බවුසරයක් ගන්නවා කියලා මම ලීටර් දසදහසක් අල්ලන බවුසරයක් අරං ඒකෙ එළියෙ අඩියෙන් අඩිය ටැප් හයිකරලා පිළිවෙළට වතුර ගන්න හැදුවා.” ඔහු මිනුවන්ගොඩ සිට වේයන්ගොඩ ජලසම්පත් මණ්ඩලයේ සහතික කළ වතුර මිලදී ගෙන එස්.එල්.එස්. සහතිකය සහිත අයිස් කැට යොදා මිනුවන්ගොඩ සිසිල් ජලය ලෙස අනුරාධපුරයට ගෙනත් බැතිමතුන්ගේ පවස නිවන්නට පටන්ගෙන තිබේ. “අවුරුද්දක් දෙකක් යද්දී මට තේරුණා අනේ ලක්ෂ ගාණක් මිනිස්සු එනවා. මොන තරම් තිබහක් ඇද්ද.. කියා හිතලා මම ගත්තා වතුර ලීටර් 13000ක් අල්ලන තව බවුසරයක්. ඒකත් වතුර කූල් කරලා පොසොන් එකට වතුර දානයට පාවිච්චි කළා.’’ ඒ සමග සුනිල් ජයසිංහ විසින් අනුරාධපුර පොසොන් පිංකම් වෙනුවෙන් ලබා දෙන සිසිල් වතුර ප්‍රමාණය ලීටර් 23000ක් වී තිබේ. වසර ගණනාවකට එපිට පැවති ජය ශ්‍රී මහා බෝ උඩමළුව දක්වා යාමට හැකි ප්‍රදර්ශනයේදී එම දින 12ම ශ්‍රී මහා බෝ මළුව ආසන්නයේ විහාර මන්දිර භූමියේ මෙම වතුර දානය බැතිමතුනට ලබාදී තිබුණි. ඒත් සිතට මදිය. ඒ නිසා ඔහු තව වතුර ලීටර් 21,000 අල්ලන බවුසරයක් මිලට ගත්තේය.” “මගෙ දරුවෝ තුන්දෙනයි. ලොකු පුතා නිශාන්ත, දුව නිලූෂා, පොඩිපුතා නිරෝධ. එයාලා ව්‍යාපාරය භාර අරං මට වඩා හොඳ කළමනාකරණයකින් කරන අය නිසා ඒවා දියුණු කර ගනිමින් ඉන්න එක මට හයියක් වුණා. මම කල්පනා කළා බවුසර් 3ක වතුර මදිනෙ තව එකක් සල්ලි දීලා ගත්තා. ඒක වතුර ලීටර් 26000ක් අල්ලන එකක්. ඒකත් එක්ක වතුර ලීටර් හැත්තෑදාහක් මම බෙදා දෙන්න පටන් ගත්තා.” වතුර දානය අනුරාධපුර පොසොන්  පිංකම් වෙනුවෙන් අරඹන්නට සූදානම් වන්නෙ පෝයට සතියකට පෙරය. සේවකයන් ලවා වතුර බවුසර, හයිප්‍රෙෂර් වතුර හා පිරිසුදු කිරීමේ දියර යොදා පිරිසිදු කර වියළා සීල් කර තබා ඉන් පසු පෝයට  දින තුනකට පෙර ප්‍රමිතියෙන් යුත් අයිස් කියුබ් සපයන ආයතනය වෙත යවා බවුසරයක එක් ටැංකියක් පිරෙන සේ අයිස් කියුබ් අතුරාගෙන වේයන්ගොඩ ජලසම්පත් මධ්‍යස්ථානයට යවා සහතික ලත් ජලය පුරවාගනු ලබයි. එසේ පිරවූ පසු අයිස් දියවීම අවම වී පොසොන් පෝදා සහ ඉන් පසුදා වනවිට පානයට සුදුසු මට්ටමේ සිසිල් බවක් සමග ජලය ලබා දීමට හැකිය. “ඊට පස්සෙ අවුරුද්දෙ මම කල්පනා කළා පොසොන් එකට එන ලක්ෂ 15ක් විතර බැතිමතුන්ගෙන් බොහෝ දෙනෙක්ගෙ පිපාසය සන්සිඳුවන්න මම සම්පූර්ණ සුදු යකඩ බවුසරයක් ගත්තා ලීටර් හතළිස්දාහක ධාරිතාවක් සහිත, ඒක 2016 අවුරුද්දෙ ගත්තෙ. මේ පාර මම මේවාට අමතරව දාහේ දෙදාහේ ටැංකි සෙට් එකක් ප්‍රයිම්මුවර් එකක තියලා ඒවටත් වතුර පුරවා ගෙනාවා.” මේ පොසොන් පොහොය වෙනුවෙන් හේ පිරිසිදු සිසිල් පානීය ජලය ලීටර් එක් ලක්ෂ පනස්දහසක ප්‍රමාණයක් බැතිමත් පවස නිවන්නට ලබා දී තිබේ. “මට ඕන වුණා මෙවර තව වතුර ලීටර් තිස්දාහක බවුසරයක් අරං මේ පිංකමට එක්කරන්න. ඒ බවුසරේ මිලෙන් භාගෙට වඩා මුදලක් මම ඇඩ්වාන්ස් කරලා තිබ්බේ. ඒක අයිති කෙනාට මම කිව්වා මේ පිංකමට ඒක දෙන්න කියලා. ඒත් කොහොම හරි වැඩේ මගහැරුණා. මම ලබන අවුරුද්දේ ඒකට අමතරව තව වතුර ලීටර් 21,000ක් අල්ලන බවුසරයක් අනිවාර්යයෙන් ගන්නවා.” ඔහු තවමත් පිංකම සුවිසල් කරන හැටි ගැන සැලසුම් කරමින් සිටී. මේ උදාර මිනිසා ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ අබියස පමණක් වසර 20ක් අඛණ්ඩව මේ පැන් පිංකම සිදුකර තිබේ. “අපි මේ බවුසර්වලින් වෙන වැඩක් කරන්නෙ නෑ. මේවා ගන්නේ පානීය ජල දානයටම පමණයි. එනිසා මේ වසරේ මුන්නේශ්වරම් මංගල්ලයට ජලය දානය කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ වාගෙම මේ වසරේ සිට මඩු පල්ලි වන්දනාවේ, නාගදීප වන්දනාවේ යන අයටත් නොමිලේ මිනුවන්ගොඩ සුනිල් ජයසිංහගෙ සිසිල් පානීය ජල බවුසරවලින් පිපාසය සංසිඳුවාගන්න පුළුවන් වේවි. අපි ඒ වැඩෙත් කරනවා.” “මට දැන් අවුරුදු හැත්තෑවයි. මගෙන් මතුත් මේ පිංකම් මීටත් වඩා ලස්සනට වෙන  බව මට විස්වාසයි මට ඒ  පිංකමට අටමස්ථානාධිපති නායක හාමුදුරුවෝ, රුවන්වැලිසෑයේ නායක හාමුදුරුවෝ,  මිහින්තලේ නායක හාමුදුරුවෝ, අනුරාධපුර දිසාපතිතුමා හා රාජ්‍ය නිලධාරින්,  පොලිස් දෙපාර්තමේන්තුව, නගර සභාව උපකාර කළා. අවස්ථාව දුන්නා. ඒ වගේම බවුසර්  අනුරාධපුරයට ගේන්න මෙවර ප්‍රයිම්මූවර් ලබාදෙමින් පිංකමට දායක වුණ සීදුව  පිරමීඩ් ඔයිල් අධිපති උපුල් මහත්තයා වගේම කොළඹ එල්.එච්. පියසේන සමාගමේ  අධිපතිතුමාත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. තණ්හාව පුළුවන් තරම් අයින් කරලා  අතහැරීම පරිත්‍යාගය දියුණුකරගෙන මම ඇස් පියාගන්නෙත් සතුටින්මයි.” සුනිල් ජයසිංහ සිය ව්‍යාපාර දරුවන්ට පවරා වෙනම කළුගලින් නිමැවුම් මවන ආයතනයක් පවත්වාගෙන යයි. සිරිපා වන්දනාවේ යන කවුරුත් දැක ඇති මළුවේ ඝණ්ටාර කුලුන කළු ගලින් කැටයම් කර නිමවා ඇත්තේ ඔහුගේ ආයතනය මගිනි. පූජනීය ස්ථාන බොහෝමයක ගල් කැටයම් නිමැවුම් බොහෝමයක් ඔහුගේ ආයතනයේ නිෂ්පාදනයන්ය. එමෙන්ම සුනිල් ජයසිංහ සිය පියා මෙන්ම අනුරාධපුර රත්නමාලි සිසිල්පාන හා ආහාරදාන සමිතියේ භාණ්ඩාගාරික වෙමින් වසර 18ක කාලයක්ද අනික් නිලතල දරමින් තවත් කලක් වර්තමානයේ එම සමිතියේ ජීවතුන් අතර සිටින පැරණිතම සාමාජිකයා ලෙස උපදේශක තනතුරේද කටයුතු කරන්නේය. ජයන්ත සුබසිංහ
 

More News..