brand logo

අවුරුදු හතරකට පස්සේ රඟපාන්න ආව දිදුල

12 May 2022

බොහෝ වෙලාවට ජනප්‍රිය නළුවො කියන්නෙ උස, මහත, කඩවසම් අයට. හැබැයි ‘පාර වසා ඇත’ නාට්‍යයේ බිංදු කියන්නේ කෙට්ටු හාදයෙක්. මේ හාදයා කෙට්ටු වුණාට රංගනය නම් ඉහළයි. ඒ නිසාම බොහෝ දෙනා බිංදුගේ චරිතය ගැන කතා කරනවා. බිංදු ලෙස රඟන දිදුල ඉඳුවර සමග මොහොතක් කතා කළා... බිංදු චරිතය තුළින් ලබන අත්දැකීම කොහොමද? අත්දැකීම කියන්නේ මම පුංචි තිරයට එන්නේ 2013දී. ඉතින් අවුරුදු හතකට පස්සේ ශිවා මාමාගේ ආරාධනයෙන් තමයි ‘පාර වසා ඇත’ බිංදු විදියට ප්‍රේක්ෂකයින් අතරට එන්නේ. කාලයක් තිස්සේ නිර්මාණ නොකර ඉඳලා දැන් ආයේ රඟපෑමට එක් වීම මට අලුත් අත්දැකීමක්. වසර හතක් නිර්මාණ කිසිවක් බාර නොගන්න හේතුවක් තිබුණද? 2015දී තමා මම සාමාන්‍ය පෙළ විභාගය කරන්න පටන් ගත්තේ. ඒ නිසා පොඩ්ඩක් කලා කටයුතු නැවතුණා. ඊට පස්සේ උසස් පෙළට කාලය වෙන් කරා. පසුව විශ්වවිද්‍යාල වරම් ලැබුවා. දැනුත් අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යන ගමන් ශිවා මාමාගේ ආරාධනාව එක්ක ‘පාර වසා ඇත’ ට සම්බන්ධ වුණේ. හිතුවද මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා... මේ තරම් කතාබහක් ඇති වෙයි කියලා හිතුණේ නැහැ. මම අවුරුදු හතකට පස්සේ බාර ගත්ත චරිතය නිසා මට තිබ්බේ කොහොමද මම මේක කරන්නේ කියලා. බිංදු චරිතයේ මුල ගත්තම සමාජයට බය චරිතයක්. ආදරය කරන්නත් බය චරිතයක්. දැන් තමා ටික ටික සමාජය එක්ක එකතු වෙන්නේ. ඒ නිසා මට ඕනේ වුණේ බිංදුට සාධාරණයක් ඉටු කරන්න. ඒ වෙනුවෙන් කැපවෙන්න. දැන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක මට දැනෙනවා මම චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියලා. බිංදුට වැඩියෙන්ම රඟපාන්න තියෙන්නේ බිමල් ජයකොඩි එක්ක.. ශිවා මාමා මට මුලින්ම කිව්වා බිමල් අයියා එක්ක තමයි චරිතය තියෙන්නේ කියලා. බිමල් අයියා එක්ක මට මීට පෙර රඟපාන්න අවස්ථාව ලැබිලා තිබ්බෙත් නැහැ. මේ පළවැනි නිර්මාණය. මම ඇත්තටම සතුටු වෙනවා බිමල් අයියගේ චරිතයට සහාය දෙන චරිතයක් රඟපාන්න ලැබීම ගැන. මොකද මට එයාගෙන් ලැබෙන අත්දැකීම් ගොඩයි. බිමල් ජයකොඩි අයියා කියන්නේ මම දැකපු නිහතමානීම රංගන ශිල්පියෙක්. මගේ රංගනය තුළ තියෙන අඩුපාඩු හොඳින් පෙන්වා දෙන කෙනෙක්. මෙහෙම ප්ලේ කරන්න, මෙහෙම කරොත් ලස්සනයි. ඒක වටිනවා කියලා මට කියනවා. ඒ කියන්නේ එයා මට හංගන්නේ නැතුව නිර්ලෝභීව ඒ දැනුම දෙනවා. බිංදුට අමතක නොවන අත්දැකීම් ඇති? සමහර සිද්ධිවලදී දුවද්දී ඇත්තටම වැටෙන අවස්ථා තියෙනවා. ඒ වගේම අපි බොක්සිං ක්‍රීඩාව එක්ක යන්නේ. කොච්චර පුහුණුවීම් කරලා කරත් ඇත්තටම වදින පාරවල් දෙක තුනක් තියෙනවා. ඒ වගේ අවස්ථා අමතක වෙන්නේ නැහැ. ඒ වගේම එකම කණ්ඩායමක් එක්ක රූපගත කිරීම්වල අපි නියැළෙන්නේ ඒ නිසා බොහෝ දේවල් සුන්දර මතකයන්. පාසල් වේදිකාවෙන් බිහිවෙන නළුවෙක් ඔබ? මම 2010දී හොරණ විද්‍යාරතන විද්‍යාලයට එනවා. එතකොට හය වසරේ. එතැනින් තමයි මගේ පාසල් වේදිකාවේ ගමන ආරම්භ වෙන්නේ. පාසලේ නාට්‍ය ගුරුවරයා පුබුදු සුභාෂණ කුරුගල සර් හරහා 2011 දී රාජ්‍ය ළමා නාට්‍යය උළෙලට සම්බන්ධ වෙනවා. ඒ ‘චූටි බබා ලොකු ළමයෙක්’ කියන ළමා නාට්‍යය එක්ක. එවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී මගේ රංගනය සඳහා විශිෂ්ට රංගන කුසලතාවක් ලැබෙනවා. ඊට පස්සේ 2012 දී රාජ්‍ය ළමා නාට්‍යය උළෙලට ‘මමයි මමයි හරි යාළුයි’ කියන නාට්‍යය අපේ පාසලෙන් ඉදිරිපත් කරනවා. ඒ වෙනුවෙන් මට 2012 දී රාජ්‍ය ළමා නාට්‍යය උළෙලේ හොඳම නළුවා සම්මානය ලැබෙනවා. පුංචි තිරයේ නිර්මාණ ගැන මතක් කළොත් .. මම මුලින්ම සම්බන්ධ වුණේ සමන් කුමාර ලියනගේ සර්ගේ ‘පිත්තල කොණ්ඩෑරුම’ ටෙලි නාට්‍යයට. ඊට පස්සේ ‘සඳසාවි’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. 2014දී මට ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ ‘නිර්භීතයි අපි’ කියන ළමා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම සුරංග සතරසිංහ මාමාගේ ‘නාටක මාරයි’ වගේ නාට්‍යවලට සම්බන්ධ වුණා. පවුලේ විස්තර මොනවද? අම්මයි, අප්පච්චියි, නංගියි ඉන්නේ. අධ්‍යාපන කටයුතු එක්ක කලාව කරගෙන යන්න මුලින්ම ගෙදරින් අවසරය ලැබෙන්න ඕනනේ. ඒ අවසරය මට කිසිම බාධාවකින් තොරව ලබා දුන්නා. මමත් ඉතින් අධ්‍යාපන පැත්තෙන් පාඩුවක් කරගන්නේ නැතුව කලාව සමබරව කරගෙන ආවා. මේ වෙද්දී කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ දෙවැනි වසරේ ඉගෙන ගන්නවා. ඉදිරි බලාපොරොත්තු මොනවද? මම ගොඩක්ම ආස රංගනයට. මම උපාධියට ඉගෙන ගන්නවා චිත්‍රපට අධක්ෂවරයෙක් සහ තිර පිටපත් රචකයෙක් වෙන්න. ඒ පැත්තෙන් යන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. මම ආසයි හෙමින් සාර්ථක ගමනක් යන්න. බිංදුට ආදරය කරන ප්‍රේක්ෂකත්වයට කියන්න යමක් ඇති.. මම මොනවා කළත් මගේ රංගනය මට විඳින්න හම්බ වෙන්නේ ප්‍රේක්ෂක ආදරය නිසා. ඒ නිසා ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරය මට ගොඩක් වටිනවා. මට ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ ඒ අය මට ආදරය කරනවාටත් වඩා මම ඒ අයට ආදරය කරනවා. අනුෂා රණසිංහ
 

More News..