brand logo

අවුරුදු විසිපහක් රසට පවුල් කන නිරෝෂයි, කුමාරයි

11 January 2021

රංගන ක්ෂේත්‍රයේ බොහොම සතුටින් පවුල් ජීවිත ගත කරන පරමාදර්ශී චරිත හුඟක් නෑ. ඒත් නිරෝෂා හේරත් සහ කුමාර ජයකාන්ත කියන්නේ වැඩි සද්ද බද්ද නැති වුණාට බොහොම ආදරයෙන් සතුටින් ජීවත් වන නළු නිළි යුවළක්. 1994 සිහින කුමාරී ටෙලි නාට්‍යයේදී කුමාරට හමුවුණ ඔහුගේ සිහින කුමාරි අද දැනුම් තේරුම් ඇති දරුවො තිදෙනෙක්ගෙ මවක්. පරණ අවුරුද්දට සමුදීලා අලුත් අවුරුද්ද දෝත පාලා භාර ගන්න මොහොතේ කලාවයි පවුලයි සමබර කරගෙන ජීවිතය ලස්සන කර ගත්ත මේ යුවළගෙ ජීවිතයට එබී බලන්න අපි හිතුවා. පුංචි තිරයේ ඔබව කාලයකින් දැක්කෙ නෑ. මේ දවස්වල රංගන කටයුතුවලින් ඈත් වෙලාද? පොදු නාට්‍යයට සම්බන්ධ වුණා. ඒකට කුමාරත් සම්බන්ධ වුණානේ. ඒ ඇරුණු කොට නම් මේ දවස්වල නිර්මාණ භාරගත්තෙ නෑ. මොකද අම්මත් දැන් වයසයි. අපි එළියට ගිහින් එන එක එච්චරම හොඳ නෑ. අම්මා ගැනයි දරුවො ගැනයි හිතලා මම මේ දවස්වල වැඩ භාර ගත්තෙ නෑ. නිරෝෂා ගෙදර හිටියට කුමාර නම් ගෙදර නෑ වගේ? ඔව්. මට නම් මගේ ව්‍යාපාර කටයුතු නිසා එළියට යන්න වෙනවා. ඒ වගේම මමත් පොදු නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ නාට්‍යයේ නම් වැඩ ඉවරයි. ඒත් නීල පබළු නාට්‍යයේ රූගත කිරීම් තියනවානේ. දැන් මේ ගෙවෙන්නේ විවාහ ජීවිතයේ කීවෙනි අවුරුද්ද ද? 26 වෙනි අවුරුද්ද අවුරුදු විසිහයක් දීග කනවා කියන්නෙ ලේසි නෑ නේද නිරෝෂා? කුමාර වගේ සැමියෙක් එක්ක නම් අවුරුදු විසි හයක් නෙමෙයි සීයක් වුණත් එකට ඉන්න පුළුවන්. ඒ නිසා මේ අවුරුදු 26 ගෙවුණෙ මටත් නොදැනීමයි. එදාටත් වඩා අපි අතර බැඳීම් වැඩියි. ආදරය වැඩියි කියලයි මට හිතෙන්නේ. ළග ඉන්න නිසා බොරුවට වර්ණනා කරනවා එහෙම නෙමෙයිනේ? අනේ නෑ.. මට කුමා ගැන බොරුවට වර්ණනා කරන්න ඕනෙ නෑ. විශ්වාසනීය, ආදරණීය, මාව තේරුම්ගත්, කරුණාවන්ත සැමියෙක් මට ලැබුණේ මගෙ වාසනාවට. ඇත්තටම කුමා කියන්නෙ මට දෙවියන් වහන්සේගෙන් ලැබුණ තෑග්ගක්. නිරෝෂා බිරිඳක් වුණේ අවුරුදු 22දි. ජනප්‍රියත්වයේ හිනි පෙතේ ඉදිද්දි. එච්චර අඩු වයසකින් විවාහ වෙන්න ගත්ත තීරණය හදිස්සි වැඩියි කියලා හිතිලාම නැද්ද? අපෝ නෑ. මම හරි වයසෙදි හරි තීරණය ගත්තා. ඒ නිසා මට දරුවො ගැන වුණත් හිතන්න ඕන තරම් වෙලා තිබුණා. නිරෝෂා විතරක් නෙමෙයි විවාහ වෙන කාලේ කුමාරත් ජනප්‍රියයි. අද තරුණ නළු නිළියන් විවාහය කල් දාන්නෙ ජනප්‍රියත්වය අඩු වෙයි කියලා? අපිට නම් එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. රසිකයන්ටත් අපේ විවාහය ප්‍රශ්නයක් වුණේ නෑ. 1995 පළවෙනි සුමති ටෙලි සම්මාන උළෙල පවත්වන විට අපි විවාහ වෙලා අවුරුද්දයි. එදා ජනප්‍රිය නළු නිළි සම්මාන හිමි වුණේ කමල්ටයි, නිල්මිණිටයි. දෙවනියට වැඩිම මනාප අරන් තිබුණේ නිරෝෂයි මමයි. අපේ විවාහය ප්‍රේක්ෂකයාට ප්‍රශ්නයක් වුණා නම් ඒක එහෙම වෙන්නෙ නෑනේ. සමහරු හොඳට ඉන්නවා කියලා ලෝකෙට පෙන්නුවට ගෙවල් ඇතුලෙ ගිනි ගොඩයි. එකම කෝණෙන් ඔය දෙන්නා දිහා බලන අයටත් සමහර විට හිතෙන්න පුළුවන් ? හිතෙන හැම දේම ඇත්ත නෙමෙයිනේ. මෙච්චර කාලෙකට නිරෝෂා කාගෙන්වත් කිසිම කතාවක් අහගත්තෙ නැති කෙනෙක්. මම වුණත් එහෙමයි. අපි දෙන්නා කවදාවත් පෞද්ගලික ජීවිතයයි කලාවයි එකට පටලවා ගත්තෙ නෑ. නිර්මාණයක් කරන කොට උපරිම කැපවීමෙන්, වැඩ කරන ශිල්පීන් සමග උපරිම සහයෝගයෙන් වැඩේ කරනවා. හැබැයි ගෙදර එනකොට එතන හිටපු කිසි කෙනෙක් අපි ගෙදර එක්ක එන්නෙ නෑ. නිරෝෂගෙ රංගනයේ සීමා මායිම් තීරණය කරන්නෙ කුමාරද? අපෝ නෑ. කුමා මට කවදාවත් රඟපාන්න එපා කියලා නෑ. ලොකු පුතා හම්බවුණ වෙලාවෙ මම අවුරුදු හතක් කිසිම වැඩකට යන්නෙ නැතුව පුතා වෙනුවෙන් කැපවුණා. දෙවනියා තුන්වෙනියා හම්බවුණ කාලවලදිත් අවුරුදු දෙක තුන කිසිම වැඩක් භාර ගත්තෙ නෑ. මම එහෙම කළේ කුමා මට කියපු නිසා නෙමෙයි. අම්මා කෙනෙක් විදියට මට හැමදේටම වඩා මගෙ දරුවො වටින නිසා. දරුවො පුංචි කාලෙ සැමියාගෙන් ලැබුණු සහය සතුටු දායකද? අම්මෝ ඔව්. කුමා දරුවන් වෙනුවෙන් නොකළේ මොනවද? පුංචිම පුංචි කාලේ නැපි මාරුකරන එකේ ඉඳන් තාත්තා අම්මගෙ වගකීම් කියලා බෙදීමක් නැතුව හැමදේම හොයලා බලලා කළා. ටිකක් ලොකු කාලේ බබාලව උදේට සෝදලා පාසල් යන්න ලෑස්ති කරලා එක්කන් යන්නෙත් කුමා. ලොකු පුතානම් දැන් පාසල් ගිහින් ඉවරයි. නිරෝෂයි කුමාරයි දැන් ලොකු ඉලන්දාරියෙක්ගෙ දෙමාපියන්. ලොකු පුතා කුමුතු ට දැන් අවුරුදු කීයද? අවුරුදු 22ක් වෙනවා. ලොකු පුතා උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වෙලා හිටියේ. පහුගිය කොරෝනා කාලේ තමයි ලංකාවට ආවේ. අනිත් දෙන්නම තවම පාසල් යනවා. රනිතු පුතා 10 ශ්‍රේණියේ, දෙනතු පුතා 9 ශ්‍රේණියේ. දරුවො කලාවට නැඹුරු නැද්ද කුමාර? ඒකනේ කියන්නේ තුන් දෙනාගෙන් එක් කෙනෙක්වත් ඒ ගැන කිසිම උනන්දුවක් නෑ. කුමුතු ගෙ පෙනුම පුංචි තිරයට විතරක් නෙමෙයි රිදී තිරයටත් ගැළපෙනවා? ඇත්තටම කිව්වොත් අපිට වඩා ආරාධනා එන්නෙ පුතාට. ඉතා හොඳ අධ්‍යක්ෂවරු නිර්මාණ වලට කතා කරනවා. ඒත් තවම කැමැත්තක් දීලා නෑ. මිස්ට ඕෂන් තරගාවලියේදී දෙවැනි ස්ථානය දිනා ගත්තා. එච්චරම තමයි කලාව සම්බන්ධ බාහිර දෙයකට සහභාගී වුණේ. හැබැයි එයා තමන්ගෙ ශරීරය ගැන නම් හරිම සැලකිලිමත්. නොවරදවා ජිම් යනවා. ඒක තමයි කැමැත්තෙන්ම කරන්නේ. පුතා උසස් අධ්‍යාපනය ලබන්නේ මොන ක්ෂේත්‍රයෙන්ද? ව්‍යාපාර පරිපාලනය තමයි ඉගෙන ගන්නේ. කවදා හරි තාත්තගෙ ව්‍යාපාරවලටත් ඒ දැනුම උදව් වෙයිනේ. පිරිමි ළමයි තුන්දෙනෙක් බලා ගන්නවා කියන්නේ ලේසි නෑ. දරුවන්ගෙ පුංචි පුංචි රණ්ඩු වලදි සැර වැර කරන්නෙ අම්මාද? නෑ.. නිරෝෂා කවදාවත් දරුවන්ට සැර කරලා නෑ. මම තමයි ඒ වැඩේ කරන්නේ. හැබැයි අදටත් තුන්දෙනාට ඔහොම ඉඳගෙන ඉන්න කිව්වොත් වරුවක් වුණත් නැගිටින්න කියනකම් ඉන්නවා. ඒ කීකරුකම තුන් දෙනාගෙම තියනවා. පුතාලම තුන්දෙනෙක් නිසා දුවෙක් නැති අඩුවත් දැනෙනවා ඇති? ඔව්. නිරෝෂා නම් දැනට වුණත් දුවෙක් ඉන්නවා නම් කැමැතියි. ඇත්තද නිරෝෂා? මම දුවෙක්ට කැමැත්තෙන් හිටියා. මට තව ටික කාලෙකින් එක දුවෙක් වෙනුවට දුවලා තුන්දෙනෙක්ම ලැබෙනවා නේ. ඒ දුවලා ව මගේම දරුවො වගේ මම ආදරයෙන් භාර ගන්න බලාගෙන ඉන්නවා. ලොකු පුතා කුමුතු ට නිරෝෂා කැමැති දුවගෙ ගති සොබාව ගැන දැනුම් දීලද තියෙන්නේ? එහෙම කියලා නෑ. ඒත් එයා තරුණ වයසේ. තරුණ දරුවෙක් විදියට එයාට මුහුණ දෙන්න වෙන අවස්ථා ගැන මම දැනුවත් කරලා තියෙනවා. මම හැම වෙලේම පුතාට කියන්නේ එයාගෙ තාත්තාව ආදර්ශයට ගන්න කියලා. පුතාලට පරමාදර්ශී චරිත හොය හොය යන්න ඕනෙ නෑ. ගෙදරම ඒ ආදර්ශය තියනවා. තාත්තා වගේ හැදුණොත් එයාලට වරදින්නෙ නෑ. ලස්සන පවුල් ජීවිතයක රහස් ගැන කියමුද නිරෝෂා? අපි මොන දේ කළත් තමන්ගෙ ගෞරවය, පවුලේ ‍ගෞරවය, සැමියගෙ ගෞරවය, දරුවන්ගෙ ගෞරවය ගැන හිතන්න ඕනෑ. එහෙම හිතලා වැඩ කරනවා නම් අපේ අතින් වැරැද්දක් වෙන්නෙ නෑ. ඒ වගේම රැකියාවයි විවාහයයි පටලවා ගන්න හොඳ නෑ. අපි අපිට වගේම සැමියාට, බිරිඳට විශ්වාසනීය වෙන්න ඕනේ. ආදරණීය වෙන්න ඕනේ. පවුල වෙනුවෙන් කැප කිරීම් කරන්න ඕනේ. අපි මේ හැම දෙයක්ම කරන්නෙ දරුවො වෙනුවෙන්. කැමරාව ඉස්සරහා මොන චරිතය රඟපෑවත් ගෙදර ගිහිල්ලත් අපි රඟපාන්න ගත්තොත් හැමදේම අවුල් වෙනවා. හිමේෂා සවන්තී රාජපක්ෂ ඡායාරූප - අසන්ත ගමආරච්චි
 

More News..