brand logo

අවුරුදු දෙකහමාරකට පස්සෙ මේ චරිතය රඟපාන්නේ ලොකු කෑදරකමකින්

04 August 2021

ප්‍රේක්ෂක ආදරය කාලයක් පුරා එක ලෙස විඳින්න ලැබෙන්නේ සීමිත රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසකට පමණයි. සුජානි මේනකා කියන්නෙත් පුංචි දැරියක් ලෙස ලැබූ ආදරය නොනසා පරිස්සම් කරගත්ත රංගන ශිල්පිනියක්. කාලයක් ඇය රංගනයෙන් නිහඩ වුණත් නිර්මාණකරුවන් ප්‍රේක්ෂකයන් ඇයව අමතක කළේ නැහැ. පෝක් වීදියේ සාමාජිකාවක් වෙලා කාලයකට පස්සේ ඇය ප්‍රේක්ෂකයන් අතරට එන්නෙත් සුපුරුදු ළෙංගතුකමින්.

කාලෙකට පස්සේ කෑදරකමක් එක්ක බාරගත්ත චරිතයක් තමයි පෝක් වීදියේ නුවංගිගේ චරිතය

නිහඬතාවය බිඳලා අලුත් වැඩකින් ඔබව ප්‍රේක්ෂකයන්ට මුණගැහෙනවා?

ඔව්. අවුරුදු දෙකකට පස්සේ තමයි මම ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුණේ. අසංක සායක්කාර පිටපත රචනා කරන සාලින්ද රත්නායක අධ්‍යක්ෂණය කරන ‘පෝක් වීදිය’ මම බොහොම කැමැත්තෙන් භාර ගත්ත නිර්මාණයක්. සාලින්ද මට නිර්මාණයට කතා කළාම කතාව අහලා මම මුලින්ම ඇහුවේ කවුද නාට්‍ය ලියන්නේ කියලා. සායක්කාර කියන්නේ හොඳ ලියන්නෙක්. නළු නිළියන්ගෙන් අවශ්‍යම දේ නිර්මාණයට ලබා ගන්න පුළුවන් විදිහට ඔහු පිටපත ලියනවා. නිර්මාණයට හොඳ නළු නිළි පිරිසකුත් සම්බන්ධ කරගෙන තිබුණා. ඒ නිසා කාලෙකට පස්සේ කෑදරකමක් එක්ක බාරගත්ත චරිතයක් තමයි පෝක් වීදියේ නුවංගිගේ චරිතය. අපි ආසයිනේ වෙනස් හොඳ දෙයකට සම්බන්ධ වෙන්න. මේ කාලයට ගැළපෙන විදිහට නිර්මාණය වුණ පෝක් වීදිය ප්‍රේක්ෂකයන්ට හොඳ රසයක් ලබා දෙයි කියලා හිතනවා.

කාලයක් නිහඬ වෙලා හිටියොත් අධ්‍යක්ෂවරුන්ට ශිල්පීන්ව මතකයෙන් ගිලිහෙනවා. ඒත් අධ්‍යක්ෂවරු ඔබව අමතක කළේ නෑ නේද?

මට අවුරුද්දක් වගේ කාලයකට තමයි නිවාඩු ගන්න ඕන වුණේ. ඒ කාලේ මට නිර්මාණවලට කතා කළත් මම ඒ නිර්මාණ ගැන සැලකිලිමත් වුණේ නෑ. අවුරුද්දක නිවාඩු කාලෙන් පස්සේ ‘බාරගත්ත නිර්මාණ කරන්න හිටියත් පවතින තත්ත්වය එක්ක නිර්මාණ කිහිපයක් කරන එක කල් ගියා. අපි ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ එකම පවුලක් වගේ. මේකේ නිවාඩුවක් ගන්න එක හරි අමාරුයි. එක අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කළාම ඔහුගේ ඉදිරි නිර්මාණ වෙනුවෙන් අපිව සම්බන්ධ කරගන්නත් සැලසුම් තියෙනවා. ඒ නිසා මාව කවුරුවත් අමතක කළේ නෑ. ඒ වගේම මම නිහඬයි කියලා සමහරුන්ට නොදැනුණේ මම සම්බන්ධ වුණ පරණ නාට්‍යයත් නැවත විකාශය වෙන්න ගත්ත නිසා.

මට සතුටින්, ආසාවෙන් කරන්න පුළුවන් වැඩවලට තමයි සම්බන්ධ වෙන්නේ

ඔබ මෙගා වැඩවලට සම්බන්ධ වීම අතහැරියද?

මම මෙතෙක් එක මෙගා නාට්‍යයකට තමයි සම්බන්ධ වුණේ. කොටස් සියයකට අඩු නාට්‍යවලට තමයි මම සම්බන්ධ වෙන්න කැමති. ඒ ගුණාත්මක භාවය කියන කාරණය නිසා. කොටස් සියය ඉක්මවූවට පස්සේ නිර්මාණයක ගුණාත්මක බව ආරක්ෂා වෙනවා අඩුයි. එහෙම දේවල් කරනවට වඩා නොකර ඉන්න එක හොඳයි. මට සතුටින්, ආසාවෙන් කරන්න පුළුවන් වැඩවලට තමයි සම්බන්ධ වෙන්නේ. එහෙම ස්ථාවරයක ඉන්න පහසු නැතිවුණත් මම ඒක කරනවා.

ඒ කියන්නේ ඔබ ලැබෙන හැම වැඩක්ම භාර ගන්නේ නෑ?

නෑ. මට හරි තිර රචනයක් නැති අධ්‍යක්ෂකවරයා කවුද කියලාවත් හරියට උත්තරයක් නැති නිර්මාණවලටත් මට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේ වැඩවලට සම්බන්ධ වෙන්න නම් මගේ කැමැත්තක් නෑ. මම කැමතියි මෙතෙක් රඟපාලා නැති විවිධත්වයක් තියෙන චරිත කරන්න. එකම වගේ නිර්මාණවල දිගටම පේන්න ඉන්න වුවමනාවක් නෑ. තෝරාගත්ත වැඩ එක්ක දැන් මම කාර්යබහුල වෙලා ඉන්නේ.

බිමල්, ඔබේ රංගනයට තහංචි පනවලා නැද්ද?

නැහැ. මට නිවාඩුවක් ගන්න ඕනේ කිව්වමත් එයා මට අවශ්‍ය සියලු දේ සැලසුම් කරලා දෙනවා ඒ නිවාඩුව ගත කරන්න. ෆිල්ම් බලන්න, පොත් කියවන්න, කොහේ හරි යන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් එයා ඉඩ හදලා දෙනවා. මගේ තීරණ හරි නම් එයා උදව් කරනවා, වැරදි නම් පෙන්වලා දෙනවා. තහංචි නම් දාන්නේ නෑ.

විවාහ වෙන්න සියයට සියයක් ගැළපෙන දෙන්නෙක් නෙවෙයිනේ

කාලයක් යද්දි ආදරේ අඩුවීම් වෙනවා කියලා බොහෝ දෙනා කියනවා. ඔබෙයි, බිමල්ගෙයි ආදරේ වැඩිවෙලාද අඩු වෙලාද?

මට දැනෙන්නේ අපේ ආදරේ වැඩි වෙලා කියලා. මට බිමල්ව හම්බෙන්නේ වයස අවුරුදු 22දී. අවුරුදු හතරක් ආදරය කරලා අපි විවාහ වුණා. විවාහ වෙන්න සියයට සියයක් ගැළපෙන දෙන්නෙක් නෙවෙයිනේ. පරිණත වෙද්දි ජීවිතය දිහා බලන විදිහ වෙනස් වෙනවා. අපි අවුරුදු 30දී දැක්ක විදිහට වඩා දැන් දකින විදිහ වෙනස් වෙන්න පුළුවන්. වයස වැඩි වෙන්නේ අවබෝධය එක්ක නම් තේරුම් ගැනීම් එක්ක නම් ආදරය කළ කාලෙටත් වඩා අපිට ආදරේ වැඩිපුර දැනෙනවා.

ඔබ, ඔබේ ජීවිතය ගැන තෘප්තිමත් වෙන කෙනෙක්ද?

අනිවාර්යයෙන්ම. මගේ ජීවිතය කිසිම දෙයක් ගැන මට පසුතැවීමක් නෑ. පසුතැවිලි වෙන දේවල් මම කරන්නෙත් නෑ. පෞද්ගලික ජීවිතයේ වගේම වෘත්තීමය ජීවිතයෙත් ලැබුණ දේවල් ගැන මම තෘප්තිමත්.

ඔබ ජීවිතයේ ඉදිරිය සැලසුම් කරන කෙනෙක්ද?

ජීවිතයේ යම් යම් සැලසුම් තියෙනවා. හැබැයි මහා ලොකු සැලසුම් තියාගෙන ජීවත් වෙන්න මම කැමති නැහැ. ඒක ලොකු බරක්. පීඩනයක් එක්ක ජීවත් වෙන්න මම අකමැතියි.

ඔබ හොයන්නේ සැහැල්ලු ජීවිතයක්. එහෙමද?

ඇත්තටම මට ඕනේ සරල සැහැල්ලු ජීවිතයක්. මම පොඩි කාලේ ඉඳන් හුරු වෙලා ඉන්නේ එහෙම ජීවත් වෙන්න. අනවශ්‍ය පීඩනයන් එක්ක ජීවත් වෙද්දි හරි අමාරුයි. සැහැල්ලුව ජීවිතයට ගොඩක් වටිනවා. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..