brand logo

අලුත් පනතක් ගෙනැල්ලා ඡන්දේ කල්දාන්න ගන්න උත්සහයක් ගැන ආරංචියක්

22 August 2022

කෝප් සහ කෝපා සභාපතිකම විපක්ෂයට දෙන්න කථානායකවරයා එකඟවුණා

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් වූ යෝජනාවකට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අතර පොදු එකඟතාවක් නැති බව පෙනෙන්නේ එහි ඇතැම් මන්ත්‍රිවරු මාධ්‍යට ලබාදෙන ප්‍රකාශ අනුවය. එමෙන්ම සජබයේ පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවද හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියන්නේය. මේ ඒ ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල "අරුණ" ට පැවැසූ දේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන මේ වෙද්දි සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු අතරත් පොදු එකඟතාවක් නැති බව තමයි පේන්නෙ. පසුගියදා කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා පැවැසුවේ ඔහු සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සහයෝගය දෙන බවයි. ඒ වගේම සජබයේ පිරිසක් ආණ්ඩුවට සහයෝගය දීමට දැනටමත් කැමැත්ත පළකර තියෙන බව හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයත් කියනව. එහෙම වුණොත් විපක්ෂ නායකකමත් සජබයට අහිමිවෙයිද? අද ලංකාවේ තියෙන ප්‍රබලතම දේශපාලන පක්ෂය සමගි ජන බලවේගය කියලා අපි බය නැතිව කියනවා. දැන් එජාපය, ශ්‍රීලනිප යේ වගේම පොහොට්ටුවේත් කාලය ඉකුත් වෙලා. ඒ නිසා මේ රටේ ශක්තිමත් සහ ප්‍රබලම දේශපාලන පක්ෂය වෙන්නේ සමගි ජන බලවේගය. මේ රටේ කුමන හෝ මැතිවරණයක් පැවැත්වුවොත් එදාට අපේ පක්ෂයේ ප්‍රබලත්වය සාක්ෂි සහිතවම ඔප්පු වේවි. අපේ පක්ෂයට විපක්ෂ නායකකම ලබා ගන්න බලය දීලා තියෙන්නේ මේ රටේ ජනතාව. ඒක නැති වෙන්නේ නැහැ. අපි විපක්ෂයේ කාර්යභාරය අදටත් හරියටම කරනවා. මේ ආණ්ඩුවටත් සමගි ජන බලවේගයටත් තියෙන ජනවරම උරගා බලන්න ප්‍රාදේශීය සභා මැතිවරණය හොඳම අවස්ථාවක්.

පක්ෂය ඇතුළෙ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් පොදු එකඟතාවක් නෑ නේද?

සර්ව පාක්ෂික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ තීරණය අපි ප්‍රසිද්ධියේම කියලා තියෙනවා. සර්ව පාක්ෂික වැඩපිළිවෙළට සහයෝගය දෙනවා කියලා විපක්ෂ නායකතුමාත් අපිත් පාර්ලිමේන්තුවේදීත් කිව්වා. රට ගොඩගන්න අපටත් උවමනාව තියෙනවා. නමුත් තවමත් සර්වපාක්ෂික වැඩපිළිවෙළ මොකක්ද කියලවත් රජය සැලැස්මක් ඉදිරිපත් කරලා නෑ. සර්වපාක්ෂික වැඩපිළිවෙළ මොකක්ද කියන කාරණය වඩාත් වැදගත්. ඇමැතිකම් බෙදා ගත්තට, ඔළුගෙඩි ටික මාරු කරලා ආණ්ඩු පිහිටෙව්වාට, ඩොලර් හොයන්නේ කොහොමද කියන ප්‍රශ්නයටවත් තවම පැහැදිලි උත්තරයක් ආණ්ඩුවෙන් ලැබිලා නෑ. ඩොලර් හොයන්න වෙනත් රටවල ආයෝජකයන් ගෙන්වන කතාව පැත්තකින් තියමු. පිටරටවල සේවය කරන ලාංකිකයන්ගෙන් මුදල් ටික හරියට ගෙන්න ගන්නවත් මේ රජයට හැකියාවක් තියෙනවා ද? යුද්ධය තියෙද්දිත් විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් අපේ රටට විශාල වශයෙන් මුදල් එව්වා. නමුත් අද එන්නේ සුළු මුදල් ප්‍රමාණයක්. ලංකාවට සල්ලි එවන්නේ නැහැ කියලා පහුගිය දවසක මැදපෙරදිග රටක එක්තරා රැස්වීමකදී ලාංකිකයන් පැහැදිලිවම කියනවා මම දැක්කා. මේ රජයට ජනවරමක් නැහැ, ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුණා. රජයේ ප්‍රතිරූපයේ දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙනුත් විනාශ වෙලා. රටට අලුත් ප්‍රතිරූපයක් ගන්නනම් ඔළුගෙඩි මාරු කරන්නේ නැති, මැතිවරණයකින් පත්වන අලුත් රජයක් අවශ්‍යයි කියලා විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් කියනවා. ඒ නිසා ආණ්ඩුව සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළොත් සමගි ජන බලවේගය ඒ පිළිබඳව අධ්‍යයනයක් කරලා තීරණයකට එනවා. ඒත් තවමත් ආණ්ඩුව කරන්නේ කළුවරේ අතපතගෑමක්.

ඇයි ඔය විදිහට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන සැකයෙන් බලන්නේ...?

මේ සර්වපාක්ෂික ආණ්ඩුව කියන්නේ මොකක්ද කියලා ඒ යෝජනා ගෙන එන පිරිසවත් දන්නෙ නෑ. ලෝක යුද්ධය කාලයේ එන්ගලන්තයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදුවා. එහි නායකයා වුණේ අග්‍රාමාත්‍ය චර්චිල්. දෙවැනි තැන දුන්නේ විපක්ෂයට. එදා එංගලන්තය යුද්ධයට මුහුණ දීලා ජර්මනිය පරද්දන්න සර්වපාක්ෂික ආණ්ඩුව හදද්දි එංගලන්තයේ කැබිනට් මණ්ඩලයේ හය දෙනෙක් පමණයි හිටියේ. මම මේ කියන්නේ විපක්ෂයට තනතුරු ලබා දෙන්න කියලා නෙමෙයි. අවංකව සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් මේ උදාහරණයම ප්‍රමාණවත්. නමුත් මේ හදන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. මොවුන් කරන්නේ ඔළුගෙඩි මාරු කරලා තමන්ගේ හිතවතුන්ට තනතුරු දීලා ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන්න මැතිවරණ ව්‍යාපාරයක්. දැන් මැතිවරණ ව්‍යාපාරයක් ආරම්භ කරලා කියලා බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. රට ගොඩදාන්නේ නැතිව තමන්ට ගොඩ එන්න තවමත් ආණ්ඩුව සැලසුම් හදනවා.

පාර්ලිමේන්තු කාරකසභාවල සභාපති ධුර සම්බන්ධයෙන් තවමත් සුබවාදී ප්‍රතිචාරයක්නැද්ද?

විපක්ෂයක් හැටියට පාර්ලිමේන්තුවේ කාරක සභාවල සභාපතිකම අපි ඉල්ලුවා. ස්ථාවර නියෝග අනුව අපට මුදල් කමිටුවේ සභාපතිකම ලැබිලා තියෙනවා. කෝප් සහ කෝපාවල සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා පසුගිය ජුනි 07 දා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය වෙනුවෙන් මම ඉල්ලීමක් කළා. යෝජනාවට කථානායකවරයා එකඟ වුණා. සියලුම පක්ෂ නායකයන් කැමැති වුණා. අවශ්‍ය ස්ථාවර නියෝග වෙනස් කරලා ඒ කටයුත්ත කරන්න කියලා කථානායකවරයා නිලධාරින්ට දැනුම් දුන්නා. නමුත් තවමත් ස්ථාවර නියෝග වෙනස් කරන්නවත් තීරණයක් අරගෙන නැහැ. රජය ඔවුන්ගේ මතය වෙනස් කරලාද කියලා අපි දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරි සතියේදී දැනගන්න හැකියාව තියෙනවා. දියුණු රටවල්වල කිසියම් දේශපාලන පක්ෂයක් බලයට පත් වූ විට, පාර්ලිමේන්තුවේ තිබෙන කාරක සභා සියල්ලම දෙන්නේ විපක්ෂයට. ආණ්ඩුව කරන වැඩ කටයුතු ගැන සීරුවෙන් ඉන්නේ විපක්ෂය. ආණ්ඩු පක්ෂයේ අයටම කාරක සභා දීලා වැඩක් නෑ. ඔවුන් ආණ්ඩුවේ අඩුපාඩු හෙළි කරන්නේ නැහැ. නමුත් විපක්ෂය ආණ්ඩුවේ සැබෑ අඩුපාඩු හෙළි කරනවා. ඒක තමයි මූලධර්මය. මූලධර්මය ඉගෙන ගන්නේ නැතිව රට පාලනය කරන්න බැහැ.

පළාත් පාලන මැතිවරණය නොතියා ඉන්න ආණ්ඩුවේ සැලසුමක් තියෙනවා කියලත් ඔබ පසුගිය දවසක කියලා තිබුණා.?

අවුරුදු දෙකකින් මැතිවරණ කල් දානවා බයවෙන්න එපා කියලා පොහොට්ටුවේ සභාපතිවරුන්ට කියලා තියෙනවා කියලා අපට දැනගන්න ලැබුණා. සැප්තැම්බර් විස්සෙන් පසුව මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කළ යුතුව තියෙනවා. ඔවුන් එය හරියාකාරව කරනවාද කියලා අපිත් අවධානයෙන් ඉන්නේ. ඇත්තම කිව්වොත් මැතිවරණ කොමිසමේ ඉන්නෙත් පොහොට්ටුවේ කාර්‍යාලවල හිටපු පිරිසමයි ඔවුන්ගේ කියන තරම් ස්වාධීනත්වයක් පහුගිය කාලයේ නම් පේන්න තිබුණේ නෑ. මේ වතාවේදීවත් ස්වාධීනව කටයුතු කරමින් මැතිවරණය පවත්වයිද කියලා අපි බලමු. කොහොම වුණත් මේ පළාත් පාලන මැතිවරණය කල් දාන්න හැකියාවක් නැහැ. දැනට පවතින නීතිය අනුව කළ හැකිව තියෙන්නේ ඡන්දය පැවැත්වීම හෝ විශේෂ කොමසාරිස්වරයෙක් යටතට භාර දීම පමණයි. අලුත් පනතක් ගෙනැල්ලා පළාත්පාලන මැතිවරණය කල් දාන්න පිරිසක් උත්සාහ ගන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා. රජය පනතක් ගෙනැල්ලා මැතිවරණය කල් දාන්න හදනවා නම් මැතිවරණ කොමිසම ප්‍රසිද්ධියේම ඊට විරුද්ධ විය යුතුයි. මැතිවරණ කොමිසමේ වගකිවයුතු නිලධාරීන් නිකන් කාමර ඇතුළේ ඉඳලා ලියුම් ලියලා වැඩක් නෑ. මැතිවරණය කල් දැම්මොත් සමගි ජන බලවේගය ඊට විරුද්ධව දැඩිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

විසිදෙවැනි සංශෝධනය ගැන මොකද හිතෙන්නේ?

විසිදෙවැනි සංශෝධනයට අපි විරුද්ධ වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවුරුදු තුනක් තිස්සේ කළ දේවල් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැය භාගෙන් මාසෙන් දෙකෙන් ආපස්සට හරවනවා. දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ පහුගිය අවුරුදු තුන ඇතුළත අපි කිවුව දේවල්. අපි 19 ගේන්න කියලා කිව්වා. පොහොර සහනාධාරය දෙන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න, ජාතිවාදය එපා වැනි කාරණා පිළිබඳව අපි දිගින් දිගටම රජයට අවධාරණය කළා. වත්මන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන්නේ අපේ වැඩපිළිවෙල. ඒ නිසා 22 සංශෝධනයට අපි විරුද්ධ වෙන්නේ ඇයි?

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රට තුළ කතාබහක් ඇතිවී තියෙනව. සමගි ජනබලවේගය විදිහට ඒක ගැන මොකද හිතන්නේ...?

රාජ්‍ය ආයතන, ලාභ ලබන සහ පාඩු ලබන ආයතන ලෙස මූලික කොටස් දෙකකට බෙදෙනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අපේ යම්කිසි එකඟතාවයක් තියෙනවා. රාජ්‍ය ආයතන 52ක පළවෙනි මාස හතරේ පාඩුව බිලියන 500යි. ඒ නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අද ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධව නෙමෙයි. රජය පෞද්ගලීකරණය කරන ආයතන ලැයිස්තුවට විශාල වශයෙන් ලාබ ලබන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතනත් ඇතුළත් කරලා. ජනාධිපතිවරයා “ද ඉකොනොමිස්ට්” සඟරාවට ප්‍රකාශයක් කරමින් ටෙලිකොම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවද පෞද්ගලීකරණය කළ හැකි බව කියලා තියෙනවා. මෙවැනි ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමට සමගි ජන බලවේගය විරුද්ධයි. පාඩු ලබන ආයතන වුණත් පෞද්ගලීකරණය කරනවා නම් ඒවායේ සේවකයන්ට සිදුවන්නේ මොනවාද? ඔවුන්ට වන්දි ගෙවන ආකාරය වැනි කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දිය යුතුයි. එසේම ඒවායේ ප්‍රතිව්‍යුහගත කටයුතු විනිවිදභාවයෙන් සිදුකළ යුතුව තියෙනවා .

කොටි හිතවාදී සංවිධාන ලෙස හඳු නාගනිමින් අසාදු ලේඛණගත කරලා තිබුණ දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන හයක තහනම ඉවත් කරල තියෙනව. ඇතැමුන් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන කියල කියනව...

මගේ දැනුමේ හැටියට ඔය කියන ඇතැම් සංවිධාන තහනම් කළේ කිසිම පරීක්ෂණයක්වත් නැතිව. කිසිම පදනමක් නැතිව, හොයලා බලන්නේ නැතිව හැම ද්‍රවිඩ සංවිධානයක්ම අත්තනෝමතිකව තහනම් කළා කියලා මම නීතිඥවරයෙක් හැටියට හොඳින්ම දන්නවා. ඒ නිසා එවැනි සංවිධානවල තහනම ඉවත් ඉවත් කිරීමේ ගැටලුවක් නෑ. ත්‍රස්තවාදය මුළුමනින්ම අපේ රටෙන් තුරන් කරලා තියෙන්නේ. ඒ නිසා අපේ රටේ ත්‍රස්තවාදය ඇති වෙන්නේ නැහැ.

වත්මන් ජනාධිපතිවරයා ඔබ පෙර හිටපු පක්ෂයේ නායකයා. ඔහුට ධුර කාලය ඇතුළතදි වැඩක් කරන්න පුළුවන්වෙයි කියල විශ්වාසද?

අපිට ජනාධිපතිතුමාත් එක්ක ප්‍රශ්නයක් නැහැ. එතුමාට රට වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් වුණත් පොහොට්ටුවත් එක්ක කිසිම දෙයක් කරන්න බෑ. පොහොට්ටුව අසාර්ථකයි කියලා මුළු ලෝකෙම දන්නවා. ජනාධිපතිතුමා තනි පුද්ගලයෙක්. එතුමාට තනියම කරන්න පුළුවන් දෙයක් නෑ. මිනිස්සු බලාපොරොත්තු තියාගන්නේ ආණ්ඩුව ගැන. ඒ නිසා අපේ රටට අලුත් ආණ්ඩුවක් අවශ්‍යයි. මේ රටට අලුත් ආරම්භයක් හැදෙන්නේ අලුත් ආණ්ඩුවකින් පමණමයි . සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් වූ යෝජනාවකට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අතර පොදු එකඟතාවක් නැති බව පෙනෙන්නේ එහි ඇතැම් මන්ත්‍රිවරු මාධ්‍යට ලබාදෙන ප්‍රකාශ අනුවය. එමෙන්ම සජබයේ පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවද හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියන්නේය. මේ ඒ ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල "අරුණ" ට පැවැසූ දේය.   සංවාදය- නිරෝෂා වාසල
 

More News..