brand logo

අවුරුදු දහයකින් පිත්තක් ඇල්ලුවේ

03 April 2021

එදා මෙදා තුර ක්‍රිකට් වංශකතාවේ ශ්‍රී ලංකාවෙන් ලෝක ක්‍රිකට් කරලියට බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයකු වන සනත් ජයසුරිය ගැන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් යළි කතා බහ කරන්නට වුණේ පසුගියදා පැවති Road safety world series තරගාවලිය සමග. වසර ගණනාවක් ක්‍රීඩා පිටියට සමුදී සිටියද, සුපුරුදු ක්‍රීඩා කෞශල්‍ය විදහා පාමින් ක්‍රීඩා කරන ආකාරය දැක ගන්නට ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ට යළි අවස්ථාව හිමිවුයේ ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ යළි පිබිදීමක් ඇති කරලමින්. ඉතාම කෙටි කාලයක් තුළ පුහුණුවීම් කටයුතු සිදු කර Road safety world series තරගාවලිය සමග එක්ව අවසන් මහ තරගය තෙක් පැමිණිමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණත්, ක්‍රිකට් නැමති අවිනිශ්චිත තරගාවලියේ අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ අනුශූරයන් බවටයි පත්වුණේ. එය එසේ වුවද වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් වඩාත් උද්‍යෝගයෙන් යුතුව නැරඹූ ක්‍රිකට් තරගාවලිය Road safety world series තරගාවලිය බව නොරහසකි. පසුගිය දිනෙක ක්‍රිකට් වංශකතාවට සුවිශේෂී දිනයක් විය. ඒ 1996 ලෝක කුසලානයේ 25 වසරක සැමරුමයි. මේ ලෝක කුසලානය උරුම කර දුන් කණ්ඩායමේ සිටි සාමාජිකයෙක් වන සනත් ජයසූරිය මෙවර Road safety world series තරගාවලිය නියෝජනය කිරීමත් විශේෂත්වයක් වුණා. මේ සියල්ල හේතුවෙන් ඔහු ලද අත්දැකීම බෙදා හදා ගන්නට පිනිපලසේ අපි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සනත් ජයසූරිය සමග කතා කළා. Road safety world series තරගාවලියට ඔබට සහභාගී වෙන්න ආරාධනා කළේ කවුද? ඩිල්ෂාන් තමා මට කතා කරේ. කණ්ඩායමේ අයිති කට්ටියක් ඉන්නවා. ඒ වෙනම ඉන්දියානු කට්ටියක්. ඉතින් ඔය දේවල් එක්ක මට ඩිල්ෂාන් කතා කරලා කිව්වා මෙහෙම තරගාවලියක් තියෙනවා සෙල්ලම් කරමුද කියලා. එහෙම තමා මට ආරාධනාව ලැබෙන්නේ. ඒ ආරාධනාව පිළිගන්න විශේෂ හේතුවක් තිබුණ ද? එහෙම නැහැ. මම අවුරුදු දෙකක් විතර සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නොවී හිටියා පැවති තරග තහනමක් නිසා. ඊට පස්සේ ලැබුණු මේ අවස්ථාව එක්ක මම හිතුවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා. එතකොට තමා ආයේ කට්ටිය දැනගන්නේ තවම මට ක්‍රීඩා කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා මම ලෝක කුසලාන තරගාවලියේ 25වන සැමරුම තියෙද්දී මම මේ තරගයට සම්බන්ධ වෙන්න තීරණය කළා. May be an image of 1 person, playing a sport and footwear කොහොමද මේ වෙනුවෙන් පුහුණු වුණේ? මට නම් තිබුණේ ඉතාම කෙටි කාල සීමාවක්. අවුරුදු 10කට පස්සේ තමා පිත්තක් අතින් ඇල්ලුවේ. ඒ නිසා මුල් තරග කිහිපය ටිකක් අමාරු වුණා. පස්සේ තරගයෙන් තරගයට ඉස්සරහට එද්දී ඉතින් ඒක පොඩ්ඩක් ඇඟට හුරු වුණා. ඒත් ලේසි නැහැ කාලයකට පස්සේ සෙල්ලම් කරද්දී. අවුරුදු ගණනාවකින් ආයෙත් ක්‍රීඩා පිටියට ගිහින් ක්‍රීඩා කරනකොට මොන වගේ හැඟීමක්ද ඇති වුණේ? සතුටුයි. එකම කණ්ඩායමක් එකම පවුලක් විදියට එකතු වෙලා අපිට තියෙන ශක්තීන් එක්ක ජයග්‍රහණය ඉලක්ක කරගෙන සෙල්ලම් කරන එක අපි හැමෝටම තිබුණා. ඒක තමා ගොඩක්ම වටින්නේ. කණ්ඩායමේ දක්ෂතාව නායකයාගේ කළමනාකාරිත්වය එක්ක අපි එක අරමුණකට සෙල්ලම් කළා. සනත් ජයසූරිය කියන මෙතෙක් ගොඩ නගාගෙන තියෙන ප්‍රතිරූපයට හානියක් වෙයි කියන අභියෝගය හිතුණේ නැද්ද? ජීවිතේට එන අභියෝග භාර ගන්න ඕනේ. එහෙම නැතිව ඒවා අභියෝග කියලා මගහැර යන්න බැහැ. අනිත් අතට මම මේක අභියෝගයක් විදියට දකින්නේ නැහැ. වසර 10කට පස්සේ මම නැවත ක්‍රීඩා පිටියට එන්නේ මට පුළුවන් උපරිමයෙන් සෙල්ලම් කරලා කණ්ඩායමට ශක්තියක් වෙනවා කියන විශ්වාසයෙන්. එහෙම නැතිව ඉස්සර වගේම සෙල්ලම් කරනවා කියන අදහසින් නෙවෙයි. ඒක අපිට ලැබුණු තරගයක්. අපි ඒක සතුටින් භාරගත්තා. May be an image of 1 person, playing a sport, stadium and text තරගාවලියේ දී ලැබුණු අත්දැකීම් සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරය කොහොමද? කාලෙකට පස්සේ කණ්ඩායමක් විදියට ක්‍රීඩා කළේ. හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් සංතෝෂයි. අපේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරයෙන් අපි ක්‍රීඩා කරන ආකාරය දිහා බලන් හිටියා. අපි හිතනවා අපි යම්තාක් දුරට අපි ඒ සතුට ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරා කියලා. අපට පුළුවන් විදියට එකතුවෙලා සීයට සීයක්ම ඒ කණ්ඩායම වෙනුවෙන් දුන්නා. නායක ඩිල්ෂාන් හොඳින්ම ඔහුගේ නායකත්ව භූමිකාව ඉෂ්ට කරා. නායකයෙක් හැටියටත්. කණ්ඩායමේ පිතිකරුවෙක් හැටියටත්, පන්දු යවන්නෙක් හැටියටත් පන්දු රැකීම අතිනුත් ඔහු ඉස්සරහින් හිටියා. කණ්ඩායම ඔක්කොම එකතුවෙලා උපරිම ශක්තිය යෙදෙව්වා. කණ්ඩායමක් විදියට ඒක තමා වෙන්න ඕනේ. ඉන්දීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද? ප්‍රේක්ෂකයන්ගෙන් සුළු ප්‍රමාණයකට පමණයි තරගාවලිය නරඹන්න අවසථාව ලැබුණේ පවතින කොරෝනා වසංගතය නිසා. මගේ ක්‍රිකට් ක්‍රීඩා දිවියට බෙහෙවින්ම ආදරය කරපු ඉන්දියානු ප්‍රේක්ෂකයන් ඉන්නවා. එදා වගේම මේ තරගාවලියේත් ඔවුන් මම වෙනුවෙන් චියර් කරා. පරණ ක්‍රීඩා මිතුරන් හමුවෙන්න අවස්ථාව ලැබුණානෙ, කොහොමද ඒ ගෙවුණු කාල සිමාව වැඩියම හමුවෙන්න ලැබුණේ නැහැ. කොරෝනා නිසා අපිට තිබුණේ සමාජ දුරස්ථභාවය එක්ක ජිවත් වෙන්න. එක බබල් එකක හිටියේ ඒ නිසා අනිත් කණ්ඩායම් නිතර හමුවෙන්න බැහැ. ඒ හින්දා සෞඛ්‍ය නීති රීතිවලට අනුගතව තමා තරගාවලියට සහභාගී වුණේ. May be an image of 3 people and people smiling කෑම එහෙම උයාගෙන පිහාගත් අවස්ථා අපි දැක්කා... ඒ අර බබල් එකක ඉන්න කොට එළියට බහින්න බැරි නිසා ඒ දේවල් වලින් මිදෙන්න මානසික සුවය වෙනුවෙන් පොඩි පොඩි දේවල් ටිකක් කරා. May be an image of 4 people, people standing, food and indoor කාගේ පන්දුවලටද මුහුණ දෙන්න අසීරු වුණේ... හැම පන්දු යවන්නෙක්ම මට අභියෝගයක් වුණා. අවුරුදු ගාණකට පස්සේ මම ක්‍රීඩා කරේ. ඒ නිසා මට එක්කෙනෙක් කියන්න බැහැ හැමෝම අභියෝගයක්. ඒ වගේම අපි චින්තක ගැනත් මතක් කරමු. බොහෝ සමාජ මාධ්‍ය තුළ පවා කවුද මේ චින්තක ජයසිංහ කියලා හොයන්න තරුණ පරම්පරාව පෙළඹුනා... චින්තක මා එක්ක බිලූ ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළේ. හොඳ දක්ෂ ක්‍රීඩකයෙක්. අවාසනාවකට වගේ ඒ කාලයේ හිටිය ක්‍රීඩකයන් එක්ක වැඩි අවස්ථාවක් ලැබුණේ නැහැ ජාත්‍යන්තර තරගවලට. මොකද දක්ෂතා සපිරි ක්‍රීඩකයන් ගොඩක් හිටිය නිසා. ලංකාවේ හිටිය දක්ෂතා සපිරි ක්‍රීඩකයෙක් අද ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. එහි ක්‍රීඩා කරනවා. ඒ වගේම තමා කෞෂල් වීරරත්න කියන්නේ මම නායකත්වය දරන කාලේ ක්‍රීඩා කරපු තුන් ඉරියව් දක්ෂතා පෙන්නුම් කළ ක්‍රීඩකයෙක්. ඔහුත් ඉන්නේ අද ඕස්ට්‍රේලියාවේ. ඩිල්ෂාන් ඉන්නෙත් ඕස්ට්‍රේලියාවේ. ඉතින් මේ වගේ හොඳ ක්‍රීඩකයන් රටින් දැන් ගිහිල්ලත් තියෙනවා. ඒ ගැන දැක්කමත් දුකයි. නමුත් ඒ අයගේ ජිවිතවලට හොඳයි ඒ ගත්ත තීරණය. Road sefety world series තරගාවලියේ දෙවැනි අදියර මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිතයිනේ, එහෙම වුණොත් ඔබව ආයෙත් දකින්න මෙරට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලැබේවිද? ඒක ඉස්සරහට බලන්න ඕනේ. ලේසි නැහැ මේ තරගාවලියත්. මට දැන් වයස අවුරුදු 51ක්. ඒ නිසා ඉදිරියේදී කල්පනා කරලා බලන්න ඕනේ. ඒ නිසා පුහුණුවීම් කටයුතු ටික කාලයක් කරලා එහි සාර්ථකත්වය අනුව තමා තීරණය කරන්න වෙන්නේ. තවම කිසිම තීරණයක් අරගෙන නැහැ. May be an image of 1 person, playing a sport, standing, footwear and text ආයෙත් ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවාද? ඒ ගැන නම් මම හිතන්නේ නැහැ. දැන් මම කල්පනා කරන්නේ මගේ තියෙන වැඩ කටයුතු ගැන. සාමාන්‍ය ජීවිතේ ගත්තම කොහොමද කාලය ගත වෙන්නේ? මගේ ක්‍රිකට් ඇකඩමි එකක් තියෙනවා. එහි කටයුතු සහ මගේ ව්‍යපාර කටයුතු එක්ක සහ දරුවන්ගේ වැඩ කටයුතුත් කරගෙන ජීවිතය ඉස්සරහට යනවා. ශරීර සෞඛ්‍ය ගැන නිතර හිතන කෙනෙක් නේද? මම එදා ඉඳන්ම ශරීර සෞඛ්‍යට මුල් තැන දීලා කටයුතු කළා. ව්‍යයාම කිරීම මගේ ජිවිතේ තුළ තියෙන දෙයක්. වැඩි ඉඩක් දෙන්නේ ව්‍යායාම වලටද? ආහාර පාලනයටද? ඒ හැම දෙයක් ගැනම දැන් හිතන්න ඕනේ. අවුරුදු 50ක් ඉක්මවලා අවුරුදු 51කුත් වෙලා තියෙන නිසා සහ හෘද සැත්කමක් පවා කරලා තියෙන නිසා ආහාර පානවලින් පවා පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම ශාරීරික ව්‍යයාමත් කරන්න ඕනේ. May be an image of 1 person and text that says 'By-IsharaS.Kodikara Kodikara IsharaS' අනුෂා රණසිංහ
 

More News..