brand logo

අව්ව සැරද?

16 March 2019

මේ දිනවල ඉර අවරට ගොස් තිබෙන අවස්ථාවල පවා දැනෙන විඩාව ‍කොතෙක්ද යත් සමාජ ජාලාවල කතා වන්නේ මිනිසුන්ටත් ඔටුවන්ට මෙන් මොල්ලියක් තිබුණා නම් හොඳයි කියාය. ජලය කොපමණ පානය කරත් විඩාබර ගතිය වැඩිවනවා මිස අඩු වන්නේ නම් නැත. මෙය ලංකාවට පමණක් නොව අනෙකුත් රටවල්වලටත් දැඩි සේ බලපාන තත්ත්වයකි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පැහැදිලි කිරීම්වලට අනුව මේ අන්තර් මෝසම් කාලයයි. (මාර්තු - අප්‍රේල්) පහළ වායු ගෝලයේ අාර්ධතාව (ජලවාෂ්ප) වැඩිවීම හේතුකොටගෙන ශරීරයට බලපාන උෂ්ණත්වයේ යම් වැඩිවීමක් දැකිය හැකිය. එය දිනෙන් දින වෙනස් වීමට ලක්වන්නේ සුළඟේ වේගය මතය. සුළඟේ වේගය අඩුවීම මත ශරීරයට බලපාන උෂ්ණත්වයද යම් මට්ටමකට ඉහළ යයි. අාර්ධතාව වැඩිවී සුළඟේ වේගය අඩුවන විට ඇඟ දිගේ දහඩිය ගලා යාම දැකිය හැකි තත්ත්වයකි. නිරිතදිග මෝසම සක්‍රීය වන මැයි මාසය පමණ වනතෙක් මෙය බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය පෙන්වා දෙයි. දිවයිනේ විවිධ පළාත්වලට දිනෙන් දින මෙම තත්ත්වය අඩුවැඩි වශයෙන් බලපානු ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයෙන් පවසන්නේ මේ තත්ත්වය ගැන දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතු බවය. මේ නිසා මිනිසාට බොහෝ සංකුලතා ඇතිවිය හැකි හෙයිනි. මේ දිනවල සමේ කුරුලෑ වැනි රතු පැහැති කුඩා බිබිලි මතු වීම. (විශේෂයෙන්ම බෙල්ල පපුව වැලමිට සන්ධිය අසල) රතු පැහැති වේදනාකාරී උණුසුම් සම, වෙනදාට වඩා අධික ලෙස දහඩිය දැමීම, මස්පිඩු වේදනාව/ මස්පිඩු පෙරළීම, වමනය, මහන්සි ගතිය /අධික වෙහෙස, හිසරදය, කලන්ත ගතිය ඇතිවන්නේ නම් ඊට හේතුව මේ අධික රස්නයයි. නමුත් ඒ ගැන එතරම් බිය විය යුතු නැත්තේ ඉන් ආරක්ෂා වීමට ගත යුතු පියවර ඇති හෙයිනි. ඒ අනුව ළා පැහැති ඇඟට තද නොමැති සැහැල්ලු අැඳුම් සහ ශරීරය වැසෙන පරිදි අත් දිග කකුල් වැසෙන ඇඳුම් ඇඳීම, තද අව් රශ්මිය ඇති අවස්ථාවල මාර්ගයේ ගමන් කිරීමේදී සෙවණක් සහිත ස්ථානවල ගමන් කළ යුතු අතර හැකි සෑමවිටම කුඩයක් ඉහළගෙන යෑමට හා වට පළල තොප්පියක් පැලඳීම, නියමිත ප්‍රමිතියෙන් යුතු අව් කණ්ණාඩි පැලඳීම, හිරු ආවරණ ආලේපයක් (sun portecting factor 30 හෝ ඊට වැඩි) එළිමහනට යාමට විනාඩි 30 පෙර ආලේප කිරීම හා නැවත අවශ්‍ය වූ විට නැවත ආලේපනය කිරීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග වලට යොමුවිය හැක. එපමණක් නොව එදිනෙදා හිරු එළියේ කටයුතු කරන්නේ නම් (ගොවියන්, ඉදිකිරීම් කටයුතු) විශේෂයෙන් ළා පැහැති ඇඟ වැසෙන ඇඳුම් ඇඳීමට සැලකිලිමත් විය යුතුය. දිනකට කිහිප වරක් සිසිල් වතුරෙන් ඇඟ සේදීම හා අසනීපයක් නොමැති නම් දිනපතා ස්නානය කිරීම වැදගත්ය. මේ අතර අධික හිරු රශ්මිය ඇති අවස්ථාවලදී එළිමහනේ කරන ක්‍රියාකාරකම් කිරීම සඳහා හැකි සෑම විටම රස්නය අඩු උදෑසන හෝ සවස් කාලය යොදා ගත යුතු අතර විටින් විට සෙවණ සහිත ස්ථානයක විවේක විවේක ගැනීම කළ යුතු ය. අධික හිරු රශ්මිය ඇති අවස්ථාවල එළිමහන් ක්‍රීඩාවල යෙදීමෙන් වැළකීම, එවැනි අවස්ථාවල සුරතල් සතෙකු හෝ වාහනයක වීදුරු පහත් කර තිබියදී පවා තබා යෑම නුවණට හුරු නැත. මේ අන්දමට ප්‍රවේශම් විය යුත්තේ දවල් කාලයට පමණක් යැයි සිතිය යුතු නොවේ. රාත්‍රි නින්දට යන විට විදුලි පංකාවක් භාවිත කරන්නේ නම් ඊට යටින් ජල බඳුනක් තැබීමෙන් සිරුරෙන් ජලය ඉවත්වීම අඩුකරගත හැකිය. ඔබ දැඩි අව් රශ්මියට නිරාවරණය වුවත් නැතත්, වෙනදාට වඩා වැඩිපුර වතුර පානය කළ යුතු අතර පිපාසය දැනෙන තුරු නොසිට නිතර වතුර පානය කිරීම, මූත්‍රා කරන සෑම වාරයක දී ම ජලය පානය කිරීම වැදගත් වේ. අධික පැණි රස පානයන් හා මධ්‍යසාර අඩංගු පානයන් ගැනීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍යය. මේවායින් ශරීරය තුළ ඇති ජලය මට්ටම වැඩි ප්‍රමාණයක් ඉවත් කරනු ලබයි. වැඩිපුර දහදිය දැමීම නිසා ශරීරය ලවණ අඩු විය හැකි බැවින් එවැනි අවස්ථාවල ජීවනී වැනි ලවණ අඩංගු පාන බීමට ගැනීම තුළින් ශරීරය විජලනය වීම වළක්වා ගත හැක. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන පරිදි මෙවැනි අවස්ථාවල විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු පුද්ගල කණ්ඩායමක් සිටියි. එනම් ළදරුවන් හා කුඩා දරුවන්, අවුරුදු 65 ට හෝ ඊට වැඩි පුද්ගලයන්, අධිබර හා ස්ථූලතාවයෙන් පෙළෙන පුද්ගලයින්, අධිකව කය වෙහෙසා වැඩ කරන පුද්ගලයින් හා ශාරීරික අසනීප වලින් පෙළෙන්නන් (හෘද රෝග අධිරුධිර පීඩනය) වැනි පුද්ගලයින් ඊට අයත් වේ. හර්ෂණී දිසානායක
 

More News..