brand logo

අවසාන තරගෙට යනකොට මට හොඳටම උණ

26 October 2019

කාටවත් නොනැමී කාටවත් යටත් නොවී තමන්ගේ ඉලක්ක කරා යන්න යුවතියකට දැඩි ආත්ම ශක්තියක් තිබිය යුතුමයි. ගමෙන් කොළඹට ඇවිත් මේ ගෙන්දගම් පොළොවේ හැප්පෙන එක යුවතියකට ලේසි නැහැ. නමුත් ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂ තමන්ගේ හීනය ජයගත්තා. පසුගියදා පිලිපීනයේ පැවති ක්වීන් ඔෆ් ඉන්ටර්නැෂනල් ටුවරිසම් 2019 තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමස්ත තරගයේ තෙවැනි ස්ථානය හා තරග හතරක් ජයග්‍රහණය කරමින් ඇය ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දුන්නා. රූප රැජිනියක් වෙන්න හීන මැව්වද? ඇත්තටම මම හීන මැව්වා. නමුත් ගෙදරින් පුංචි ඉඩක්වත් ලැබුණේ නැහැ. මොකද අපේ ගෙදර නීති මාලාවක් යටතේ මම හැදුණේ. රංගනය හා මෝස්තර නිරූපණය කියන එක ගෙදර තහනම් මාතෘකාවක්. කොහොමද තහනම කඩාගෙන ආවේ? තනි තීරණයක් ගන්න වුණා. ගෙදර අයගේ අකමැත්තෙන් මම කොළඹ ආවා. ඇවිත් කලාව තුළ මගේම ගමනක් ආරම්භ කළා. පිළිගන්න, මේ දේවල් ආරම්භ කරනකොට මට මම විතරයි උන්නේ. යුවතියකට මෙවැනි ක්ෂේත්‍රයක තනි ගමනක් යා හැකිද? මම කිසි කෙනෙක් ගැන හිතන්නේ නැහැ. මට ලැබෙන රාජකාරිය හරියට කරනවා. මම මුලින්ම රඟපෑවේ සරත් ධර්මසිරිගේ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය. නමුත් එය ප්‍රචාරය වෙනකම් අවුරුදු එකහමාරක් බලාගෙන උන්නා. නමුත් එය විකාශනය වුණේ නැහැ. නමුත් මම ලබාගත්ත අත්දැකීම් ඊළඟ නාට්‍යවලදී ප්‍රයෝජනවත් වුණා. කොහොමද ඔබට චරිත ලැබෙන්නේ? මගේ දක්ෂතාවට මට චරිත ලැබෙනවා. මම කාගෙවත් පස්සෙන් චරිත ඉල්ලගෙන ගියේ නැහැ. නමුත් මම කැමති චරිත මට ලැබුණා. මම හිතන්නේ ඒ මගේ වාසනාව. ක්ෂේත්‍රයේ තනියම ඉන්න ඔබ වගේ සුන්දර යුවතියක් ගැන කටකතා හැදෙන්නේ නැහැ කිව්වොත් පුදුමයි නේද? මම අනිත් අය ගැන හොයන්නේ නැහැ. ඉතින් අනිත් අය මම ගැන කියන්නේ මොනවද කියලා මම දන්නෙත් නැහැ. කොළඹ ආපු මුල්ම කාලේ නැන්දා කෙනෙක්ගේ ගෙදර නැවතුණේ. නමුත් ෂූටින් ඉවරවෙලා රෑවෙලා එනකොට එයාලට කරදරයි. ඒක නිසා තනියම නවතින්න තීරණය කළා. ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද? කොහොමත් ගෙදරින් විරුද්ධයි. නමුත් මම කරන්නේ හරි දේ. මම රඟපාන්න ආවේ ආත්ම තෘප්තිය නිසා. මට යමක් කළ හැකි නිසා. මොකද මට ජාත්‍යන්තර පාසලක් තියෙනවා. හොඳ ආදායමක් ලැබෙනවා. යැපෙන එක ප්‍රශ්නයක් නෙවේ. මම, මගේ කාර් එකෙන්ම ෂූටින් යනවා. ආපහු ඒකෙම ගෙදර එනවා. කිසිම කෙනෙක්ගේ දෙයක් හොයන්න වෙලා නැහැ. ඉතින් මගේ ඔළුවට කුණු වැටෙන්නේ නැහැ. අද මිනිස්සු විඳවන්නේ තමන්ගේ ප්‍රශ්නවලට නෙවේනේ. අනුන්ගේ ප්‍රශ්නවලට. ඩිෂ්නිට එහෙම දෙයක් නැහැ. තමන්ගේ පාඩුවෙ, තමන්ගේ වැඩේ කරගෙන ඉන්නවා. ඔබ ගැන කතා හැදිලා නැද්ද? මම දන්නේ නැහැ. අනුන් කියන දේවල්වලට හිත රිද්දගන්නවත් ඒවා හොයන්නවත් වෙලාවක් නැහැ. ඊට වඩා මට වැඩ තියෙනවා. කොහොමද මේ ක්වීන් ඔෆ් ඉන්ටර්නැෂනල් ටුවරිසම් තරගයට අවස්ථාව ලැබෙන්නේ? ලංකාවේ පැජන්ට් කීපයක් කරලා තිබුණා. ​ආසාවක් තිබුණා හොඳ ජාත්‍යන්තර තරගයකට යන්න. රටවල් 40ක් නියෝජනය කරන හොඳ ජාත්‍යන්තර වැඩක් නිසා යන්න ඕන කියලා හිතාගත්තා. අවස්ථාව ලැබෙන්නේ කොහොමද? ලංකාවේ තිබුණ තරගයෙන් ජයග්‍රහණය කරලා තමා අවස්ථාව උදාකර ගත්තේ. ලංකාවේ තිබුණ මිස් ග්ලෝබල් සිටි කියලා පැජෙන්ට් එකක්. මයෝමි ශ්‍රිනලි තමා මේක කළේ. මම ඒ තරගය දිනුවා. ඒකෙන් මට ජාත්‍යන්තර තරගයක් නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුණා. නමුත් මේ අය කිව්වේ නොවැම්බර්වල තමයි ජාත්‍යන්තර තරගය තියෙන්නේ කියලා. නමුත් තිබුණේ අගෝස්තුවල. අගෝස්තු මාසේ මම ලංකාවේ චිත්‍රපටයකට දින දීලා තිබුණේ. මේ නිසා මයෝමිගේ පැජෙන්ට් එකට යන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. රූප රාජිනියක් වීම ඔබේ හීනය නේද? නමුත් මම ෆිල්ම් එකට වචනේ දීලා ඉවරයි. මොකද මේක නොවැම්බර් තියෙනවා කියලනේ මයෝමි මට කිව්වේ. මම රඟපාපු ෆිල්ම් එකේ කැමරාමන් රට ඉඳලා එන්නේ. ඒක නිසා මට ෆිල්ම් එක වෙනුවෙන් මගේ හීනය කැප කරන්න වුණා. මයෝමි මගෙත් එක්ක අමනාප වුණා කියලා මම දන්නේ නැහැ. නමුත් කුමන දෙයක් ලැබුණත් පොරොන්දු කඩ කරන්න, දුන්න වචනය වෙනස් කරන්න මම කැමති වුණේ නැහැ. කොහොමද මේ තරගයට යන්නේ? රුක්මාල් සේනානායක තමා මට අයැදුම් කරන්න කිව්වේ. මිස් ශ්‍රී ලංකා කෙනෙක් වුණාම ලෝකයේ ඕනම බියුටි පැජන්ට් එකකට යන්න අවස්ථාව ලැබෙනවා. රුක්මාල් සේනානායක මාව ඉතා ඉක්මනින්ම පුහුණු කළා. ඒ අනුව තමා මට මේ අවස්ථාව ලැබෙන්නේ. ලංකාවෙන් යන්නේ ඔබ විතරද? ඔව්, එතැනට ගියාම තමා දැනුණේ මේක අභියෝගයක් කියලා. මොකද අනිත් තරගකාරියෝ ඇවිත් තිබුණේ ලොකු කණ්ඩායමක් සමග. මේක්අප් කරන්න වෙනම අය, කොණ්ඩයට තවත් අය, බඩු බාහිරාදිය ගෙනියන්න වෙනම අය. මම තනියම. ඔක්කොම බඩු තනියම කරගහගෙන යනකොට මට මා ගැනම දුකක් ඇතිවුණා. මම අවසාන තරගෙට අඳින ගවුම අඩි හයක් දිගයි. ඉවෙන්ට් හය හතකට අවශ්‍ය ඇඳුම් ලොකු බෑග්වල. හිතේ ශක්තිය වැඩි කරගෙන මේ ඔක්කොම තනියම කරගහගෙනයි මේ ජාත්‍යන්තර තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මම සහභාගි වුණේ. කොහොමද තරගකාරීත්වය? ඉතාමත්ම ඉහළයි. රූ රැජින තරගයක් වුණාම හැම දෙයක්ම බලනවා. සාමාන්‍ය දැනුම ප්‍රශ්න අහනවා. ජාත්‍යන්තර සම්බන්ධතා ගැන අහනවා, දැනුම බලනවා. ඉංග්‍රීසි භාෂාව බලනවා. පෞරුෂය ගැන ඉතා ඉහළින් බලනවා. මොඩ්ලින් හා ඇවිදින විදිහ ගැන දැනගෙන ඉන්න ඕන. නර්තන හැකියාව තියෙන්න ඕන. මෙහි දක්ෂයාට තමා අවසානයේ කිරුළ ලැබෙන්නේ. ඔබට මෙය අභියෝගයක් වුණාද? අනිත් හැමෝම පිරිවර වටකරගෙන ඉන්නකොට තනි මට අභියෝගයක් නෙවෙයි කියලා හිතනවද? හැබැයි මට ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් තිබුණ එක ලොකු දෙයක්. සමහර යුවතියෝ පරිවර්තනය කරන්නන් සමග ආපුවාම පත්වන අපහසුතාව මම දැක්කා. නමුත් මම අභියෝගවලට කවදාවත් පස්සට ගිය කෙනෙක් නෙවේ. කලාවට මම ආවේ තනි කැමැත්තකට. මාව විශ්වාස කරලා, ඒ විශ්වාසය කොයි මොහොතකවත් මාව තනි කළේ නැහැ. මොනවද ලැබුණ ජයග්‍රහණ? ඉවෙන්ට් හතරක් සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කළා. නැෂනල් කොස්ටියුම් එකට හිමිවන බෙස්ට් ඉන්ටර්නැෂනල් කොස්ටියුම් එකේ ජයග්‍රහණය ලැබුණා. ඊට අමතරව ක්වීන් ඔෆ් ටැලන්ට්, ක්වීන් ඔෆ් සෙන්සමෝල්, බෙස්ට් කැට් වෝර්ක් යන ඉවෙන්ට්වල ප්‍රථම ස්ථානය ලබාගත්තා. නමුත් අවසාන මහා තරගයෙන් ඔබට ලැබෙන්නේ තෙවැනි ස්ථානය. දුකක් නැද්ද? ප්‍රථමයා වුණා නම් සතුටුයි. නමුත් රටවල් හතළිහකින් අවසාන 12 දෙනාට එනකොට මට දැනුණේ පුදුම සතුටක්. මොකද මෙවන් රූප රාජිනී තරගවල ශ්‍රී ලංකාව එතරම් ගණන් ගන්නේ නැහැ. ඔවුන් අපිව පහතට දාලා කටයුතු කරන්නේ. එවන් මානසිකත්වයක් යටතේ අවසාන 12ට එනකොට ලොකු ආඩම්බරයක් දැනුණා. අවසාන තරගයේ තරගකාරීත්වය කොහොමද? ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මුල් වටයේ නැටුම් අංශයේ ෆයර් ඩාන්ස් එක කරනකොට මම ලොකු රිස්ක් එකක් අරගත්තා. මට ඒ නැටුම පුුුහුණු කළේ ලලිත් පැරකුම්. ඒ නැටුම කරනකොට ගින්දරත් එක්ක ප්‍රවේශමෙන් කරන්න ඕන. ඒ වෙනකොට අවසාන තරගයට දින හතරයි තිබුණේ. කොහොම හරි ගින්දරවලට මගේ තොල් පිච්චිලා දියපොක්කලම් ආවා. ඒ රස්නෙට මට උණ ගත්තා. අවසාන මහා තරගෙට එනකොට මට හොඳටම උණ. ලිප්ස්ටික් ගාන්න බැරි තරමට තොල පිච්චිලා. නමුත් කොහොම හරි ඉදිරිපත් වෙනවා කියන අධිෂ්ඨානය හිතේ තිබුණා. ඒ මොහොතේ දැනුණ හැඟීම මතක් කළොත්? ඇත්තටම වේදනායි. අම්මා, තාත්තාගේ හිත හරි නැහැ. උදව්වට කවුරුත් නැහැ. අනික් හැමෝටම කවුරුහරි ඉන්නවා. මගේ දේවල් මමම කරගන්න ඕන. නමුත් එය අසරණකමක්, පසුබෑමක් කරගන්න කොහෙත්ම මගේ හිත කැමති වුණේ නැහැ. අවසන් මහා තරගය ගැන යමක් කියන්න? මම ශක්තිවන්තව තරග කළා. ප්‍රථම ස්ථානය ලබපු ඉක්වදෝරයේ රූ රැජිනට 20ක විතර කණ්ඩායමක් උන්නා. තනියම බඩු බෑග් එකත් උස්සගෙන ගිය මම තුන්වැනි තැන ලබාගත්තා. මට, මා ගැනත් මගේ රට ගැනත් ඉතාමත්ම සතුටු වෙන්න පුළුවන්කම ලැබුණා. තරගයට පසු ලැබුණු ප්‍රතිචාර මොන වගේද? මගෙත් එක්ක අමනාපයෙන් වගේ උන්න මගේ ගෙදර අයට මා ගැන ලොකු විශ්වාසයක් ඇතිවුණා. ඒක මට මහමෙරක් වගේ. මොකද අන්තිමට ඒ අය විශ්වාස කළා මම කරපු දේ හරි කියලා. ඇත්තටම මට මා ගැන ආඩම්බරයි. මේ ගමන තුළ ඔබට අසාධාරණකම් වුණේ නැද්ද? නැහැ. මොකද මම ඔය දේවල් ගැන හිතන්නේ නැහැ. මට ලැබෙන දේ ගැන විතරයි මම හිතන්නේ. ඒ දේ හරියට කරනවා. හැබැයි මම කිසිම කෙනෙක් විශේෂ කරගන්නේ නැති නිසා වෙන්න ඇති මටත් ප්‍රශ්නයක් ආවෙ නැත්තේ. ආදරය කරන කෙනා විරුද්ධ නැද්ද ඔබ රඟපානවට? ඔහු මාව විශ්වාස කරන එක මට ලොකු ශක්තියක්. මොකද ඔහු කැමතියි මම මේ වැඩ කරන ආකාරයට. මොන දේ නැති වුණත් ඔහු මා සමග ඉන්න එක මට ලොකු ශක්තියක්. අනිත් අය මාව ගණන් නොගෙන ඉන්නකොට ඔහු තමා මගේ ශක්තිය හා විශ්වාසය වුණේ. ඉක්මනින් විවාහ වෙනවාද? තව ටික කාලයක් යාවි. හැබැයි ඔහු තමා මගේ ජීවි​තේ. අනාගතය කොහොම තීරණය වෙයිද? අනාගතේ ගැන ලොකු බලාපොරොත්තු නැහැ. මේ මොහොතේ ලැබෙන දේ භාරගන්නවා. කොහොමත් මගේ කැමැත්ත තියෙන්නේ සිනමාවට. සිනමාව තුළ විශාල දෙයක් කළ හැකියි කියන විශ්වාසය මට තියෙනවා. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඡායාරූප - මංජුල පෙරේරා
 

More News..