brand logo

අවශ්‍ය වුණොත් ලොකු මෝල්වල තොගවලටත් අත තියනවා

26 May 2020

අවශ්‍යතාවක් මතුවුවහොත් මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ වී තොග කළමනාකරණය කිරීමට රජය මැදිහත් වන බව අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන පැවැසීය. මේ වන විටත් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුව ඇති වී තොග රජය විසින් මිලදී ගෙන සහල් බවට පත්කිරීමේ ක්‍රියාවලි ආරම්භ කර ඇති බවද ඇය කියා සිටියාය. අමාත්‍යාංශය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ සහල් හිඟයක් ඇතිවීමට අවස්ථාවක් නොමැති බවද පැවැසූ ලේකම්වරිය රජය සතු වී තොග පිළිබඳව මෙලෙසද අදහස් පළ කළාය. ‘රජය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා වී තොග මෙට්‍රික්ටොන් විසිහයදහක් රැස්කරලා තියෙනවා. එම වී තොගය කොටා සතොස සහ සමුපකාර හරහා ඉදිරි දින දෙකේද (අඟහරුවාදා සහ බදාදා) වෙළෙඳපොළට නිකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මීට අමතරව දිසාපතිවරුන් සතුවත් පසුගිය වකවානුවේ රැස්කරපු මෙට්‍රික්ටොන් විසිහයදාහක විතර වී තොග තියෙනවා. ඒවා ණය පදනම මත ලබාගත්ත වී තොග. ඒ අනුව සම්පූර්ණයෙන් මෙට්‍රික්ටොන් පනස්දහකට වඩා වී තොග රජය සතුව තියෙනවා. මේ සියල්ල සහල් බවට පත්කරලා කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කරනවා. දැනට රජය සතුව ප්‍රමාණවත් වී තොග තියෙන නිසා මහපරිමාණ වී මෝල් හිමියන්ගේ වී තොග පිළිබඳව කලබල වෙන්න අවශ්‍ය නැහැ යැයි පැවැසූ ලේකම්වරිය එහෙත් යම් හදිසි අවශ්‍යතාවයක් මතුවුවහොත් එම වී තොග කළමනාකරණය කිරීමට මැදිහත්වීම සඳහා රජයට බාධාවක් නොමැති බවද සඳහන් කළාය.   නයන තරංග ගමගේ
 

More News..