brand logo

අලුතින් මුද්‍රණය කළ රු. බිලියන 74කට මොකද වුණේ?

02 June 2020

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටුවලින් රුපියල් බිලියන හැත්තෑ හතරක මුදලකට සිදු වූයේ කුමක්ද යන්න රටට අනාවරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන තිස්ස අත්තනායක පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (01 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය. හෙතෙම පෙන්වා දෙන්නේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේදී මහ බැංකුවේ ඇති මුදල් සංචිත ප්‍රමාණයට සමාන ලෙස එය සිදු විය යුතු බවයි. නමුත් රුපියල් බිලියන 292ක මුදල් නෝට්ටු පසුගියදා මුද්‍රණය කර ඇත්තේ මහ බැංකුවේ නියමයන්ට පටහැනිව බවද ඔහු පෙන්වා දෙයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේද කීවේය. ‘‘මහ බැංකුවේ සංචිත තිබුණේ රුපියල් බිලියන 115යි. නමුත් මේ අය රුපියල් බිලියන 292 මුදල් නෝට්ටු මුද්‍රණය කරනවා. මේ අතර වෙනස රුපියල් බිලියන 177ක්. ඒ අනුව ආර්ථික න්‍යායන්වලට අනුව කුමන වීදියේ පාලනයක් කළත් උද්ධමනය පාලනය කරන්න බැහැ. එක්කෝ ආණ්ඩුව පෙන්නන්න ඕනෑ කොහොමද අපි ඒ වෙනුවට සංචිත වැඩි කරන්නේ කියලා. අපේ අපනයන ආදායම වැඩි කිරීමෙන් හෝ විදේශ මුදල් වැඩි කිරීමෙන් අපේ සංචිත ප්‍රමාණ ශක්තිමත් කිරීමට හැම විටම ආණ්ඩුවක් ක්‍රියාකළ යුතුයි. නමුත් ඒ කිසිවක් සැලකිල්ලට ගන්නේ නැතුව රුපියල් බිලියන 292ක් මුද්‍රණයම කරලා වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා. රුපියල් බිලියන 218ක ප්‍රශ්නයක් තියෙනවා. එම මුදල් වෙළෙඳපොළට නිකුත් කළාම එතනින් ඉතුරු වන රුපියල් බිලියන හැත්තෑ හතර ආගිය අතක් නැහැ. ඒවා වෙළෙඳපොළට නිකුත් කරලා නැහැ. මුද්‍රණය කළ බව සඳහන් වෙනවා. නමුත් කුමන ආකාරයෙන් හෝ ඒවා රඳවාගෙන තිබෙනවා. එහෙම නම් ඒ මුදල් කෝ?. මුදල් පිළිබඳ වගකියන පාර්ලිමේන්තුව අද රැස් වෙන්නේ නැහැ. ආණ්ඩුව සහ මහ බැංකුව එවැනි මුදල් අච්චු ගැසීමකට ගියා නම් ඒ පිළිබඳ සියලු කාරණා පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුයි. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ යුතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මේ පිළිබඳව ප්‍රශ්න කරන්න ආයතනයක් නෑ. ඒ වගේම මෙම මුදල් කුමකට පාවිච්චි කළාද පැහැදිලි කරන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරි කාලය අවසන්. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව රැස් නොකර ඉන්න දීලා තියෙන කාලය ජුනි 02 වැනිදායින් අවසන් වෙනවා. මේ තත්ත්වය හමුවේ තවදුරටත් මේ ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ. නිදහසෙන් පස්සේ ගත වුණු වසර හැත්තෑ දෙකටම මහ බැංකුව විසින් මුද්‍රණය කරලා තියෙන මුදල් ප්‍රමාණයේ එකතුව රුපියල් බිලියන 677යි. නමුත් 2020 පෙබරවාරි මාසයේ පමණක් රුපියල් බිලියන 292ක් මුද්‍රණය කරලා තියෙනවා. මේක වැරදි පූර්වාදර්ශයක්. ඒ නිසා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා වහාම මේ මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය වෙළෙඳපොළට නිකුත් කළ මුදල් ප්‍රමාණය හා ඒ අතර තියෙන පරතරය පිළිබඳව වහාම රටට කරුණු කියන්න. මේ නිසා තමයි බඩු මිල වැඩි වෙන්නේ. පොහොර සහනාධාර ලබා දීමට බැරි වෙන්නේ. චාමර පල්ලේගෙදර
 

More News..