brand logo

අලුත් පක්ෂයක් හදන්න සජිත්ට බලය දුන්නේ නෑ

02 June 2020

සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට කිසිදු අවස්ථාවක තවත් දේශපාලන පක්ෂයක් බිහි කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියක් ලබා නොදුන් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (01 වැනිදා) පැවැති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය. නව සන්ධානයක් බිහි කිරීම සම්බන්ධයෙන් පුළුල්ව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සාකච්ඡා කළ බවද පැවැසූ රනිල් වික්‍රමසිංහ පක්ෂයක විනය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත් බවද සඳහන් කළේය. පක්ෂ විනය කඩ කරමින් වෙනත් දේශපාලනික පක්ෂයකින් නාම යෝජනා අත්සන් කළ පිරිසගෙන් මේ වන විටත් නිදහසට කරුණු විමසා ලිපි යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය. ඔවුන් ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා බලා පක්ෂයේ නෙරපීම සම්බන්ධයෙන් ඉදිරියේ දී කටයුතු කරන බවද ඔහු පැවැසීය. සමගි ජනබලවේගය නිර්මාණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබුණ බව එහි මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර පසුගියදා ප්‍රකාශ කර තිබිණි.   උදයජීව ඒකනායක
 

More News..