brand logo

අලුත් ආණ්ඩුව අහෝසි කළ වැලි ප්‍රවාහන බලපත්‍රය ආයෙත්

10 March 2020

නව ආණ්ඩුව බලයට පත්වීමත් සමග අහෝසි කරන ලද වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍රය නැවත හඳුන්වාදීමට  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කළ බව එහි සභාපති අනුර වල්පොල "අරුණ"ට පැවසීය. ඒ අනුව එය මාර්තු 16 වන දින සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය. වැලි ප්‍රවාහන බලපත්‍රය අහෝසි කිරීම තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලාපොරොත්තු වූයේ නිවෙස් සඳහා අවශ්‍ය සුළු ප්‍රමාණයේ වැලි පස් ප්‍රවාහනය කිරීමට අවසර දීම මිස විශාල ප්‍රමාණයෙන් ජාවාරමේ යෙදෙන්නන්ට අවසර දීම නොවන බවද ඔහු එහිදී සඳහන් කළේය. වැලිවලට හොඳ මිලක් පැවතීම හේතුවෙන් වැලි ප්‍රවාහන බලපත්‍රය අහෝසි කිරීමෙන් ජාවාරම්කරුවන් දිවා රෑ නොබලා වැලි පස් මැටි කැපීම කළ බවත් ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කොට තමන් ඊට එරෙහි වූ බව සභාපතිවරයා පැවසීය. එමෙන්ම මීට පෙර බලපත්‍ර ලබාගැනීම සඳහා මුදලක් අය කළද මෙවර එම බලපත්‍රය නොමිලේම ආයතනය විසින්ම නිකුත් කරන බවද ඔහු සඳහන් කළේය. වැලි කැපීම සඳහා මාසයකට අවසර ලබාදෙන ප්‍රමාණය සැළකිල්ලට ගනිමින් මෙය සිදුකෙරේ. ඒ අනුව මෙම බලපත්‍රයේ ප්‍රවාහනය කරනු ලබන දිනය , වෙලාව කොතැන් සිට කොතැනට ප්‍රවාහනය කරන්නේද යන්න සඳහන් කර තිබේ. වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ මගදී පරීක්ෂා කිරීම පිළිබඳවද ආරක්ෂක අමාත්‍යංශය සමග සාකච්ඡා කරන බවද ඔහු මෙහිදී පැවසීය. මේ හේතුවෙන් මෙම අක්‍රමිකතා වැළැක්වීම සඳහා විද්‍යුත් යෙදුමක් (App)හඳුන්වා දීමට කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත්කර ඇති බව සඳහන් කළේය. ඒ අනුව එයට අවසර ලැබුණු පසු මැයි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත . මෙමගින් කැණීම් කරන ස්ථානයේ කැණීම් සිදුකර ඇති ප්‍රමාණය, වැලි නිකුත් කර ඇති ප්‍රමාණය, බලපත්‍රය අහෝසි වන දිනය සහ රජයට ගෙවිය යුතු මුදල් පිළිබඳව පවා මෙම යෙදුම භාවිත කරන කෙනෙකුට දැනගැනීමට හැකි බව ඔහු කීය. එමෙන්ම එම කැණීම්වල නීත්‍යානුකූලභාවයද එමගින් තහවුරු කරගැනීමේ හැකියාව ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.   ශිරන්තනි මානවඩු
 

More News..