brand logo

අලුත් ආණ්ඩුකාරවරු වැඩ අරඹති

26 January 2019

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අලුතින් වැඩ භාර ගත් මෛත්‍රී ගුණරත්න ඉකුත් සතියේ මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන වන මහනුවර, මාතලේ සහ නුවරඑළිය පළාත් පාලන ආයතනවල ගැටලු සොයා බැලීමේ චාරිකාවක නිරතවෙමින් සිටින බවට ප්‍රවෘත්තියක් මුලින්ම වාර්තා විය. ඉන් අනතුරුව වාර්තා වූයේ, එම චාරිකාව අතරතුර දඹුල්ලේ මහ නගර සභාවේ අඩුපාඩු සොයා බලන්නට ගිය ආණ්ඩුකාරවරයා එම රැස්වීම වාර්තා කිරීමට පැමිණ සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නගරසභාව තුළට පැමිණීමටවත් ඉඩනුදුන් බවයි. රැස්වීමෙන් අනතුරුව නගර සභාවෙන් පිටතට පැමිණි ආණ්ඩුකාරවරයා, පැවසුවේ තමනුත් නගරාධිපතිවරයා ඇතුළු පිරිසත් අතර පැවැති පෞද්ගලික සාකච්ඡාවක් බැවින් මාධ්‍යවේදීන් ඊට සහභාගි වීම වැළැක්වූ බව යි. කෙසේ වෙතත් මධ්‍යම පළාත පුරා දියත් කළ නිරීක්ෂණ සංචාරය අතරතුර මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයාට පෙනුණු පරිදි පළාතේ තිබෙන දැවෙන ප්‍රශ්නය ‘පෝස්ටර්’ විය යුතු ය. මහනුවර නගරයේ පෝස්ටර් අලවන අයට නඩු දමන බවට ඔහු විසින් නියෝගයක් නිකුත් කර තිබිණි. ඉනුත් නොනැවතුනු ආණ්ඩුකාරවරයා කුණු ප්‍රශ්න සහ ට්‍රැෆික් ප්‍රශ්න සොයා බලමින් මහනුවර පාරවල් වල සැරිසරනු ද දක්නට ලැබිණි. දකුණු පළාතට පත් කර යැවූ අලුත් ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් ද ගාල්ලේ ආයුර්වේද රෝහල ඇතුළු රජයේ ආයතන ගණනාවකට ම නිරීක්ෂණ චාරිකා දියත් කළ බවත්, ඒවායෙහි නිලධාරීන් ප්‍රශ්න කළ බවත් වාර්තා විය. මීට අමතරව ගුරුවරුන් ලෙස පළාත් රාජ්‍ය සේවයට බැඳෙන්නට කැමැත්තෙන් සිටින දකුණු පළාත් උපාධිධාරීන් පිරිසක් ද හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද සාකච්ඡා කර තිබෙන බව අනාවරණය විය. ඇකඩමියාව තුළින් පත් වූ ප්‍රබුද්ධ ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ලෙස බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් ද, සබරගමු පළාත් ආණ්ඩුකාරවර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානයක ද ජනාධිපතිවරයාගේ ‘මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනේ’ තානාපතිවරුන් ලෙස කටයුතු කරමින් ‘විවිධ වැඩසටහන් දියත් කරමින්’ සිටින බව පෙනේ. පාසල් සිසුන් සහ රාජ්‍ය සේවකයින් ඒකරාශී කරමින් කරගෙන යනු ලබන මෙම වැඩසටහනකට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පාසල් ශිෂ්‍යයෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට දෙන ලද පිළිතුරක් ‘ඉතා සුවිෂේශී’ වේ. ඔහු පැවසුවේ, ‘රටේ තිබෙන බාර් ලයිසන් වලින් සියයට අනූවක් පමණම දේශපාලකයින්ගේ වන බව’ යි. ඔහු එවැනි ප්‍රකාශයක් කරන්නේ ‘නිසි සංගණනයකින් දැ’යි යන්න වෙනම ප්‍රශ්නයකි. ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ, පළාතක් තුළ නාමික විධායක වන ආණ්ඩුකාරවරයෙකු ලෙස ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන දේශපාලකයින් කෙරෙහි ඒ තරම් අපහාසාත්මක වන්නේ කෙසේ ද යන්නයි. ආචාර්ය සුරේන් රාඝවන් ද අප්‍රේල් වන විට උතුරු පළාත තුළ තිබෙන ආයතන සහ සිද්ධස්ථාන සියල්ලේ ම නාම පුවරු භාෂා තුනෙන් ම තිබිය යුතු බවට නියෝග කර තිබුණු බවක් වාර්තා විය. මේ අතර උතුරු පළාත තුළ අලුතින් බෞද්ධ ආගමික සිද්ධස්ථාන ඉදිවීම සම්බන්ධයෙන් ද ඔහු යම් මට්ටමකට විවේචනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබුණු බවක් වාර්තා විය. කෙසේ වෙතත් ඔහු විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණේ, තමන් කියූ දෙය වැරදියට වටහාගත් මාධ්‍යය තමන් නොකිවූ තරම් දේවල් පළකර ඇති බව පවසමිනි. බස්නාහිර පළාතට අලුතින් පත් ව ආ ආණ්ඩුකාරවරයා වන අසාද් සාලි ද පසුගිය දිනෙක නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා පාසලකට කඩා වැද ‘චණ්ඩිකම් පෙන්වූ බව’ දකින්නට ලැබුණි. ඒ අදාළ බාලිකා පාසලේ විදුහල්පතිනියට ද බැණ තර්ජණය කරමිනි. සිදුවීමට පසුබිම් වූයේ නුගේගොඩ නගරයේ වෙළඳ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කරමින් සිටින අයෙකුගේ මූලිකත්වයෙන් එම බාලිකා පාසල තුළ පවත්වාගෙන යනු ලැබූ දහම් පාසලක් ඉන් ඉවත් කිරීමට පාසල් බලාධිකාරීන් ගත් පියවර අත්හිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර අසාද් සාලි මැදිහත් වූ නිසා ය. ආණ්ඩුකාරවර අසාද් සාලි විසින් සිදුවීම පිළිබඳ මාධ්‍ය හමුවක් ද පවත්වා තිබුණු අතර එහිදී ඔහු විසින් පැවසුවේ ‘මාගේ පළාත තුළ කිසිඳු සිසුවෙකුට කිසිඳු අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව’ යි. කෙසේ වෙතත් ඉහත කී සිදුවීමට අදාළ වන බාලිකා පාසල පළාත් ආණ්ඩුවේ පාසලක් ද නොවන ජාතික පාසලකි. එමෙන් ම එම පාසල් බාලාධිකාරය එම‘දහම්පාසල’ තමන්ගේ පාසල තුළ පවත්වාගෙන යාම නවත්වන්නට තීරණය කර තිබුණේ, දහම් පාසලේ පැවැති විනය ප්‍රශ්න හේතුවෙන් එම බාලිකා පාසලේ ‘කීර්ති නාමයට’ ද හානි පැමිණෙමින් තිබූ නිසා ය. ප්‍රබුද්ධ මෙන් ම නිර්ප්‍රබුද්ධ යන දෙවර්ගයේ ම ආණ්ඩුකාරවරුන් විසින් පවත්වමින් සිටින මෙකී වැඩ එක් අතකින් ‘විසූක දස්සන’ වනවා පමණක් නොව, අනෙක් අතට ‘සම්ප්‍රදාය විරෝධී’ පමණක් නොව ‘නීති විරෝධී’ ද විය හැකි ය. 1987 පළාත් සභා ක්‍රමය හඳුන්වාදීමත් සමඟ හඳුන්වා දුන් පළාත් ආණ්ඩුකාර ධුරයට පළාත් ආණ්ඩුවේ දේශපාලන බලතල පාවිච්චි කරන්නට හැකියාවක් නැත. එම බලතල පාවිච්චි කළ යුත්තේ, මහජන ඡන්දයෙන් බලයට පත් වන මහ ඇමතිවරයාගේ නායකත්වයෙන් යුත් පළාත් ආණ්ඩුව ය. ආණ්ඩුකාරවරයාට පැවරී ඇත්තේ සීමිත විධායක කාර්යයන් කිහිපයක් පමණි. පළාත් සභාවේ වාර අවසාන කිරීම සහ සැසිවාර කැඳවීමත්, පළාත් සභාවෙන් සම්මත කළ නීති අණපනත් වලට අත්සන් තැබීමත් ඒ අතර වේ. ඊට අමතරව ආණ්ඩුකාර තනතුර යනු සම්භාව්‍ය ගෞරවනීය තනතුරකි. අලුත් ආණ්ඩුකාරවරුන් තනතුරේ ගෞරවය ඒ ආකාරයෙන් රකිනවා වෙනුවට හෑල්ලු කරමින් සිටින්නේ යැයි කිව හැකිය. වඩා වැදගත්ම කාරණය වන්නේ, ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු හැටියට පත්වන පුද්ගලයෙකු වීමත්, ඒ අනුව ඔවුන් විසුරුවා හැර තිබෙන පළාත් සභා වල ‘කෙරුම්කාරයින්’ වීමත් හේතුකොටගෙන මධ්‍යයේ සිට පර්යන්තය දක්වාම ‘ජනාධිපති විධායකයේ බලපෑම’ තදින් ක්‍රියාත්මක වෙමින් පැවතීමය. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. එහෙත් ජනාධිපතිගේ විධායක බලතල කප්පාදු කරන්නට කතා කරන, පළාත් සභා වලට උපරිමයෙන් බලය බෙදා හරින ක්‍රමවේද ගැන කතා කරන යහපාලනකාමීන් ද, සිවිල් පුරවැසියන් ද ආණ්ඩුකාරවරුන් හරහා පළාත් හයක් ජනාධිපතිවරයාගේ බලයට යට වී තිබීම ගැන ඒ තරම් වද වන බවක් ද නොපෙනේ. ‘‘චණ්ඩියො නැති හන්දියේ නොන්ඩියො චණ්ඩි වෙනවා වගේ, විසුරුවාහැර තියෙන හැම පළාත්සභාවකටම අදාළ බල ප්‍රදේශයේ ඒවාට පත් කළ ආණ්ඩුකාරවරුන් පුළුවන් තරං චණ්ඩිකම් පෙන්නමින්, පිස්සු වැඩ කරමින් ඉන්න බව පේනවා. පළාත් ආණ්ඩුවේ මහජන නියෝජිතයින් හැටියට අපි මේ ආණ්ඩුකාරවරුන්ගේ චණ්ඩි වැඩ, පිස්සු වැඩ හෙළා දකිනවා. ඒ විතරක් නෙවෙයි, අපට දැනගන්නට ලැබෙන හැටියට මේ අය මහ ඇමතිවරයා වෙනුවෙන් වෙන් කර තිබෙන වාහන පවා තමන්ගේ ගමන් බිමන් වලට පාවිච්චි කරමින් ඉන්නවා. ඒ වගේ ම පළාත් අරමුදලේ මුදලුත් විවිධ ව්‍යාපෘති වලට පාවිච්චි කරමින් ඉන්නවා. සමහරවිට මේ ආණ්ඩුකාරවරුන්ට ඉදිරියේදී එෆ්.සී.අයි.ඩී.ත් යන්න වෙයි. අපි මේ දවස්වල නීති උපදෙස් පතමින් ඉන්නවා මොවුන් ගැන අදාළ ආයතන වලට පැමිණිලි ගොනු කරන්න’’ යැයි පවසන්නේ, මධ්‍යම පළාතේ හිටපු ක්‍රීඩා සහ කර්මාන්ත ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ය. මධ්‍යම පළාතේ හිටපු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මතුකරන කාරණය ද වැදගත් ය. විසුරුවා හැර තිබෙන පළාත් ආණ්ඩු තුනක අවුරුදු එක හමාරක් තිස්සේ ‘අයවැය’ක් සම්මත වූයේ නැත. ඒ අනුව මෙම පළාත් වල පළාත් සේවයේ බොහෝ කටයුතු පවත්වාගෙන යාමට මෙන් ම සේවකයින්ට පඩි නඩි ගෙවීමට ද පළාත් සභාව හරහා ‘නීත්‍යනුකූලව’ මුදල් පාස් වන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නැත. ආණ්ඩුකාරවරුන් තමන්ට නැති බලතල ද ආරෝපණය කරගෙන බලහත්කාරයෙන් ම පළාත් ආණ්ඩු කරන්නට පටන් ගෙන ඇත. අනෙක් අතට නිලධාරීන් ද කළ යුතු නොකරමින්, නොකළ යුතු වැඩ කරමින් හැකි පමණට තමන්ගේ අණසක ද ක්‍රියාත්මක කරන ‘නිලධාරීවාදයක්’ පවත්වාගෙන යමින් තිබේ. සුරේඛා සමරසේන
 

More News..