brand logo

අලුත් අවුරුද්දෙන් පසු පුළුල් දේශපාලන පෙරමුණක් පොදුජන පෙරමුණ සැලසුම් කරයි

13 April 2019

අලුත් අවුරුද්දෙන් පසුව ජනාධිපතිවරණය ඉලක්ක කර පුළුල් දේශපාලන පෙරමුණක් ගොඩනැගීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇති බව වාර්තා වේ. මහ මැතිවරණයකට වඩා ජනාධිපතිවරණයේදී සුළු පක්ෂයක ඡන්ද ප්‍රමාණය වුවද වැදගත් නිසා මෙවැනි පුළුල් පෙරමුණ ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කිරීමට හේතුවී ඇත. එහි ප්‍රවේශයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ආරම්භ කළ සාකච්ඡා මේ වන විට සාධනීය මට්ටමක පවතින බවද වාර්තා වේ. මීට පෙර එම සාකච්ඡා අසාර්ථක මට්ටමක පවතින බව වාර්තා වුවත් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොරොන්දු වී ඇති බව පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් සඳහන් කළේය. එම සන්ධානය ගොඩනැගීම කඩාකප්පල් කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට චෝදනා එල්ල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කිරීම වැළැක්වීම සඳහා රට ගැන සිතා පොදු එකඟතාවයක් අනුව කටයුතු කරන බවද හෙතෙම පැවසීය. එහි තවත් පියවරක් ලෙස සියලුම පක්ෂ සමග ජනාධිපතිවරණය ඉලක්ක කර පොදු එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මේ වන විටත් ඇතැම් පක්ෂ සමග නොනිල මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඒවා අවුරුද්දෙන් පසුව නිල මට්ටමේ සාකච්ඡා බවට පවත්වන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, කම්කරු ජාතික සංගමය, කඳුරට ජනතා පෙරමුණ, හා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කොටස් සමගද සාකච්ඡා කිරීම සඳහා නොනිල මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන් වේ. චමින්ද සේනාරත්න
 

More News..