brand logo

අලුත්ම 'ස්පයිඩර් මෑන්' ඩොලර් බිලියනය ඉක්මවයි (විඩියෝ)

29 December 2021

කොවිඩ් සමයේ ඉහළම ආදායම ලැබූ චිත්‍රපටය 

මේ වනවිට ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් ඇති Spider Man: No Way Home චිත්‍රපටය කොවිඩ් වසංගත සමයේ ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ආදායම් ඉපැයූ පළමු චිත්‍රපටය ලෙස ආදායම් වාර්තා පිහිටුවීමට සමත්ව තිබේ. 2021 වසරේ වැඩිම ආදායම් උපයා ඇති සිනමාපටයද එයයි. Spider Man: No Way Home එම වාර්තාව පිහිටුවීමට පෙර ඊට හිමිකම් කීවේ චීනයේ නිෂ්පාදිත The Battle of Lake Changjin නමැති චිත්‍රපටයයි. එය කොරියානු යුද්ධය පසුබිම් කරගත් කතාවක් රැගත් නිර්මාණයකි. එම සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 905ක ආදායමක් උපයා තිබිණි. මෙයට පෙර ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ආදායම් ඉපැයූ අවසන් චිත්‍රපටය වූයේ 2019 වසරේ ප්‍රදර්ශනය වූ Star Wars: The Rise of Skywalker චිත්‍රපටයයි. කෙසේ නමුත් පසුගිය වසරේ කොවිඩ් වසංගතය ලෝකය ග්‍රහණයට ගැනීමෙන් පසු කිසිදු චිත්‍රපටයක් ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාවට ළඟා වීමට සමත්ව තිබුණේ නැත. පසුගිය ඉරිදා වනවිට Spider Man: No Way Home ගෝලීය වශයෙන් උපයා තිබූ සමස්ත ආදායම සටහන් වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.05ක් ලෙසිනි. ඉහත කී වාර්තාව පිහිටුවා ඇත්තේ එය තිරගත වීම ආරම්භ වී සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ වීමද විශේෂත්වයකි. ඔමික්‍රෝන් ප්‍රභේදය බටහිර රටවල් ග්‍රහණයට ගනිමින් සිටියදීත් මෙවැනි ඉලක්කයක් සපුරා ගැනීමට සමත් වීම විශාල ජයග්‍රහණයක් බව සිනමා ලේඛකයෝ පෙන්වා දෙති. ලෝකයේ විශාලම සිනමා වෙළෙඳපොළ ලෙස සැලකෙන චීනයේ තවමත් මෙය තිරගත කර නැත. ජෝන් වැට්ස් අධ්‍යක්‍ෂණය කළ Spider Man: No Way Home හි ටොම් හොලන්ඩ්, සෙන්දයා, බෙනඩික්ට් කම්බර්බැච් ප්‍රධාන චරිත නිරූපණය කරති. සහන් වික්‍රමගේ https://youtu.be/6WrNoNra_2U https://youtu.be/ZYzbalQ6Lg8 https://youtu.be/WgU7P6o-GkM
 

More News..