brand logo

අලි රොෂාන් ඇතුළු 8දෙනාට එරෙහිව නීතිපති ගොනුකල නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා මූලික විරෝධතාවක්

18 September 2019

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිය විසින් මතු කර තිබෙන මූලික විරෝධතා පිළිබඳව ඔක්තෝම්බර් මස 2 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (18) නීතිපතිවරයාට නියෝග කරන ලදී. මෙම නඩුව අද විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මූලික විරෝධතාවක් මතුකරමින් මෙම විත්තිකරුවන්ට එළ්ල කර තිබෙන චෝදනා නිශ්චිතව දක්වා නොමැති බව සඳහන් කර සිටියේය. චෝදනාවට පාදක වන දින වකවානු, වරද සිදුකළ බව කියන ස්ථාන නිශ්චිතව චෝදනා පත්‍රයේ සඳහන් කර නොමැති හෙයින් එම චෝදනා පත්‍රය නීතිවිරෝධී බවත් එය විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට බලයක් නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ප්‍ර්මෙරත්න මහතා එබැවින් අදාළ චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසද සිය මූලික විරෝධතා ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය. ඒ අනුව නඩුව නැවත ඔක්තෝබර් මස 02 වනදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදිනට මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස ද රජයේ නීතිඥවරයාට නියෝග කරන ලදී. බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි. මෙම නඩුවේ විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පද්මසිරි සහ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී යන අය ද ඇතුළත්ව සිටිති. අධිකරණ වාර්තාකරු
 

More News..