brand logo

අලි රොෂාන්ගේ නඩුවේ මූලික විරෝධතාවට ලබන 22 වැනිදා කරුණු දක්වන්නැයි නීතිපතිට නියෝග

16 October 2019

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිය විසින් මතු කර තිබෙන මූලික විරෝධතා පිළිබඳව ඔක්තෝම්බර් මස 22 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (16) නීතිපතිවරයාට නියෝග කරන ලදී. මෙම නඩුව අද විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කරුණු දක්වමින් විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා වලට ප්‍රතිචාර දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ කරුණු දැක්වීම් ලබන 22 වනදා සිදුකරන ලෙස විනිසුරු මඩුල්ල විසින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වෙත නියෝග කරන ලදී. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතුකරමින් මෙම විත්තිකරුවන්ට එළ්ල කර තිබෙන චෝදනා නිශ්චිතව දක්වා නොමැති බව සඳහන් කර සිටියහ.. චෝදනාවට පාදක වන දින වකවානු, වරද සිදුකළ බව කියන ස්ථාන නිශ්චිතව චෝදනා පත්‍රයේ සඳහන් කර නොමැති හෙයින් එම චෝදනා පත්‍රය නීතිවිරෝධී බවත් එය විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට බලයක් නොමැති බවත් පෙන්වා දුන් විත්තියේ නීතිඥවරු එබැවින් අදාළ චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසද සිය මූලික විරෝධතා ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියහ. බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි. මෙම නඩුවේ විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පද්මසිරි සහ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී යන අය ද ඇතුළත්ව සිටිති. (අධිකරණ වාර්තාකරු)
 

More News..