brand logo

අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් නිදොස් කොට නිදහස්

01 March 2019

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ චෝදනාවලින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා විසින් අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. විත්තිකාර ස්වාමීන් වහන්සේට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා ප්‍රමාණවත් ලෙස ඔප්පු වී නොමැති බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු විජයරත්න මහතා ප්‍රකාශ කළේ. මෙම අලි පැටවා විත්තිකාර ස්වාමීන්වහන්සේ භාරයේ තිබුණු බවට පැමිණිල්ල විසින් යම් යම් සාක්කි ඉදිරිපත් කලත් ඒවා උන්වහන්සේගේ භාරයේ පැවති බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් නොවන බව විනිසුරුවරයා ප්‍රකාශ කළා. එමෙන්ම මෙම නඩුවට අදාළව එවකට අමාත්‍යවරයෙකු ව සිටි වසන්ත සේනානායක නමැති සාක්ෂිකරු ලබාදුන් සාක්ෂි ද පිළිගත නොහැකි මට්ටමක පවතින බවද විනිසුරුවරයා සඳහන් කළා. ඒ අනුව විත්තිකාර ස්වාමීන් වහන්සේට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කරන බවයි විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේ. කෙසේ වෙතත් මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියා. 2015 වසරේ ජනවාරි මස 28 වනදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ඇලන්මැතිනියාරාම විහාරස්ථානය තුළ බලපත්‍රයක් නොමැතිව අලිපැටවකු සන්තකයේ තබාගැනීම තුළින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත මෙන්ම පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.
 

More News..