brand logo

වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇප මත මුදාහැරේ

30 August 2019

කැලෑවකින් අල්ලා ගන්නා ලද අලි පැටවකු බලපත්‍රයක් නොමැතිව සිය භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන්ට නිතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණි. ඉන් අනතුරුව විත්තිකාර තිලිණ ගමගේ මහතා රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. සෙසු විත්තිකරුවන් තිදෙනා රුපියල් 25,000 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට අධිකරණය නියම කළේය. අනතුරුව නඩුව සැප්තැම්බර් මස 20 වනදා කැඳවීමට අධිකරණය නියම කෙරිණි. ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින චන්ද්‍රරත්න යටවර නමැත්තා රදවා තැබීමට ද අධිකරණය නියම කළේය. කැලෑවකින් අල්ලා ගන්නා ලද "සකුරා" නැමති අලි පැටවකු වනජීවී දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන වලංගු බලපත්‍රයක් නොමැතිව සිය ස්වාමිත්වයේ තබාගැනීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබූණි.
 

More News..