brand logo

වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් 4කට නඩු

19 July 2019

වලංගු බලපත්‍රයක් නොමැතිව "සකුරා" නැමැති අලි පැටවකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් දැනට වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව අධිචෝදනා විසිපහක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (19) නඩු පවරනු ලැබීය. නීතිපතිවරයා විසින් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටින සෙසු පුද්ගලයන් අතර "සකුරා" නැමති අලි පැටවාගේ මුල් අයිතිකරු වශයෙන් පෙනී සිටි චන්ද්‍රරත්න බණ්ඩාර යටවර නමැත්තාද වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ වරයෙකු වන උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියක වශයෙන් සේවය කළ ප්‍රියංකා සංජීවනී නැමැත්තිය ද ඇතුළත්ව සිටිති. 2015 වසරේ පෙබරවාරි මස 10 වන දා එවකට වනජීවී දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ අමාත්‍යවරයා වූ වසන්ත සේනානායක මහතා විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පරීක්ෂණයකදී අනාවරණය වූ තොරතුරු මත මෙම නඩුව පැවැරීමට නීතිපතිවරයා කටයුතු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය. එම නඩුවට පාදක වී තිබෙන "සකුරා" නැමති අලි පැටවාගේ මුල් අයිතිකරු වශයෙන් පෙනී සිටි චන්ද්‍රරත්න බණ්ඩාර යටවර නමැති විත්තිකරු පාරම්පරික අලි හිමියෙකු වශයෙන් ප්‍රකාශ කර තිබුණද ඔහු වෘත්තියෙන් පෑස්සුම්කරුවකු බව විමර්ශනවලදී අනාවරණය වූ බව පෙන්වාදුන් රජයේ නීතිඥ ජයරත්න මෙනවිය ඔහුට අලියෙකු නඩත්තු කිරීම සඳහා කිසිසේත්ම හැකියාවක් නොමැති බව අනාවරණය කරගත් බව කියා සිටියාය. මෙම අලි පැටවාට බලපත්‍ර නිකුත් කිරීම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ උපාලි පද්මසිරි සහ ලිපිකාරිනියක වූ ප්‍රියංකා සංජීවනි විසින් සිදුකර ඇති බවත් එහිදී ඔවුන් නීති විරෝධී හා ව්‍යාජ සටහන් යොදා අලි පැටවාට බලපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව ප්‍රශ්නගත අලි පැටවාගේ බලපත්‍රය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2012 ඔක්තෝබර් මස 26 වනදා අවලංගු කර ඇති අතර විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී මෙම අලි පැටවා වනාන්තරයෙන් අල්ලාගෙන ව්‍යාජ ලේඛන භාවිතා කර ලියාපදිංචි කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ද අධිචෝදනා පත්‍රයේ සඳහන් කර තිබේ. ප්‍රශ්නගත අලි පැටවා මෙම නඩුවේ විත්තිකාර වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ භාරයේ තිබූ බවට ඔප්පු කළ හැකි සාක්ෂි රැසක්ම විමර්ශනයේදී අනාවරණය වී තිබෙන බවත් විත්තිකාර තිලිණ ගමගේ මහතා අදාළ අලි පැටවා සිය සන්තකයේ නීතිවිරෝධී ලෙස තබා ගැනීම සඳහා සෙසු විත්තිකරුවන් සමඟ එක්ව කුමන්ත්‍රණයක නියැලී ඇති බවට විමර්ශනවලදී කරුණු තහවුරු වූ බව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයේ දක්වා තිබේ. මේ තුළින් විත්තිකරුවන් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි ද නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍රය සඳහන් කොට ඇත. එම නඩුවට පාදකවන "සකුරා" නැමති අලි පැටවා ගේ වටිනාකම රුපියල් හැට නව ලක්ෂ හැත්තෑ දහසක් බවට ගනන් බලා ඇතැයිද නීතිපතිවරයාගේ සම්බන්ධයෙන් කරන නිළධාරිනි රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
 

More News..