brand logo

අලි නිසා ඡන්දෙට බාධා

02 November 2019

ජනාධිපතිවරණයේ ඡන්දය විමසීමේ කාලය දීර්ඝ කිරීම හේතුවෙන් අලි ගැවසෙන ප්‍රදේශවලින් ඡන්ද නිලධාරීන් ගමන් කරන අවස්ථාවලදී වනජීවී සහ වන සංරක්ෂණ නිලධාරීන්ගේ සහයෝගය ලබාගැනීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත. ඡන්දය විමසීමේ කාලය පස්වරු පහ දක්වා පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් දා තීරණය කළේය. කුරුණෑගල, මාතලේ, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල අලි බහුලව ගැවසෙන ප්‍රදේශවලින් නිලධාරීන් යතුරුපැදි ආදියෙන් යන අවස්ථාවන්හිදී වනජීවී, වන ආරක්ෂණ සහ පොලිසියේ ආරක්ෂාව ලබාගැනීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පවසයි. ‘‘කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරේ, නැත්නම් මාතලේ දිස්ත්‍රික්කයේ, අනුරාධපුරයේ, පොළොන්නරුවේ අලි ගැවසෙන ප්‍රදේශවල ඡන්ද පෙට්ටි අරන් එන්න පුළුවන්. නමුත් ඡන්ද පොළට ස්කූටියෙන් එන ගුරුවරියෝ, බයිසිකලයෙන් එන අය, පා ගමනින් එන අය අලි ගහන කැලේ යන්නේ කොහොමද කියන එක ගැටලුවක්. වනජීවී දෙපාර්තමේන්තුවෙත්, වන ආරක්ෂණ, වන නියාමක, පොලිසියේ නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිව ඡන්ද පෙට්ටිය ගේන්න පමණක් නොවෙයි නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන බලන්න ඕනේ’’ යැයි මැතිවරණ කොමිසමේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති මහින්ද දේශප්‍රිය කීවේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..