brand logo

අලියාගෙන් තරග කළ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ තනතුරටත් අනතුරක්

15 February 2020

එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට පත් වී ඇති සිටින සභිකයන් 2000කට අධික පිරිස වෙනත් සන්ධානයකට හෝ දේශපාලන පක්ෂයකට මහ මැතිවරණයේදී සහයෝගය පළ කළහොත් ඔවුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කර වෙනත් අය පත් කිරීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් දේශපාලන පක්ෂයට සහයෝගය දැක්වීම විනය විරෝධී ක්‍රියාවකි. එම නිසා සියලුම සභිකයන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගන්නා තීන්දුව මත කටයතු කළ යුතු බව පක්ෂ නායකත්වයේ අදහසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යෝජිත සන්ධානය සඳහා එක්සත් ජාකිත පක්ෂ ‘‘ලාංඡනය’’ වන අලියා ලකුණ ඉල්ලා සිටියත් එය ලබා නොදීමටද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ ලාංඡනය වෙනත් සන්ධානයකට ලබා දීමට නීතිවිරෝධී වෙයි. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිහිටුවීමට යෝජිත සන්ධානය සඳහා අලියා ලකුණ අවශ්‍ය බවට සජිත් පාර්ශ්වයෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත. කෙසේ වෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පසුගිය සිකුරාදා පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී වෙනත් සන්ධානයක් ස්ථාපති කරන බව අවධාරණය කර තිබේ. ඒ සඳහා ආසන සංවිධායකවරුන්ගේ සහයෝගය අවශ්‍ය බව විපක්ෂ නායකවරයා මෙහිදි ප්‍රකාශ කර තිබේ. ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම් පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා පත් කළ දස පුද්ගල කමිටුවද පසුගිය සිකුරාදා රාත්‍රියේ රැස්වීමට නියමිතව තිබුණි. එහිදී ගනු ලබන තීන්දු තීරණ හා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට (සඳුදා) පැවැත්වීමට පක්ෂ නායකත්වය තීරණ්‍ය කර ඇත. උදයජීව ඒකනායක
 

More News..