brand logo

හිටපු දුම්රිය සාමාන්‍ය අධිකාරි වරයෙකුට සහ වාණිජ අධිකාරීවරයෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ අධිචෝදනා බාර දෙයි

29 August 2019

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ස්ථාවර හා ජංගම භෝජනාගාර නීතියට පටහැනි ආකාරයෙන් වසරක කාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශය නීති විරෝධී ලෙස ලබාදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු දුම්රිය සාමාන්‍යධිකාරිවරයකු වූ පී.පී. විජේසේකර සහ හිටපු දුම්රිය වාණිජ අධිකාරිවරයකු වූ විජය සමරසිංහ යන මහත්වරුන්ට එරෙහිව අද (29) අධිචෝදනා පත්‍ර භාර දීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ මෙම චෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදෙන ලදී. ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් 50,000/-ක් බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය. නඩුව නැවත නොවැම්බර් මස 08 වනදා කැඳවීමට ද නියම කෙරිණි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ජංගම සහ ස්ථාවර භෝජනාගාර පවත්වාගෙන යාමේ ටෙන්ඩරය ලබාගෙන තිබූ ජිලාන් ද සිල්වා නැමැති පුද්ගලයාට 2011 වසරේ පෙබරවාරි මස 01 වනදා සිට වසරක කාලයක් නීතියට පටහැනි ආකාරයෙන් එම භෝජනාගාර කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශය නීතිවිරෝධී ලෙස ලබාදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි. අධිකරණ වාර්තාකරු
 

More News..