brand logo

අරුන් ඇවිත්

16 February 2019

දෙසතියක කාලයක් තුළ අපූර්ව චරිතයක් දේශපාලනයට ප්‍රාදුර්භූත වී ඇත්තේය. ඒ ‘‘ආවා’’ කල්ලියේ නායක අරුන්ය. ආවා කල්ලියේ නායකයා ආ ගමන්ම යම් කිතිකැවීමක් ඇති කළේය. යාපනයේ ඉඳන් ආ අරුන් දෙරණ රූපවාහිනියේ සාකච්ඡාව අරඹමින් කීවේ තමන් බෞද්ධයකු බවය. පුතා උපදින විට ධම්මපදය කියමින් සිටි නිසා පුතාට මෛත්‍රියන් සිද්ධාර්ථන් යයි නම් තැබූ බව අරුන් කී‍වේ බෞද්ධයන්ට සාධුකාර දෙන්නට තරම් සිතෙන අයුරිනි. බෞද්ධ තර්ක ක්‍රමයට වාද ක්‍රමයට මග පෙන්වන මිලින්ද ප්‍රශ්නය නම් බෞද්ධ ග්‍රන්ථයේ සඳහන් පිළිවෙත් අනුව දේශපාලන වාදයේ යෙදිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය. ප්‍රභාකරන් මෝඩයෙකි. එසේම එල්.ටී.ටී.ඊ. නායකයෝ කපටියෝය. ඔවුහු ගෙලේ සයනයිඩ් පැලඳගෙන සටන් කළද සටනේදී ඒ සයනයිඩ් කෑවේ පොඩි උන්ය. මහ උන් සුදු කොඩි අරන් ජීවිත ​බේරා ගන්නට හමුදාවට බාර වෙන්නට ආවෝය. කොටි ගැන එසේ කියූ අරුන් ටී.එන්.ඒ. පක්ෂයේ නායකයන්ගේ වේට්ටිද ගැලවූයේය. විග්නේෂ්වරන් හිටියේ කොළඹ. එයා විශ්‍රාම යනතුරු කළේ විනිශ්චයකාරකම. අද එයාට ඡන්දෙ දෙන අයගෙ දරුවො ත්‍රස්තවාදීන් හැටියට එයා ඉස්සර උසාවියට ගෙනාවහම එදා එයා මොකද කළේ. ඒ අය අල්ලල හිරේ යැව්වා. අද උතුරට ඇවිත් කියනවා ප්‍රභාකරන් එයාගෙ වීරයලු. ප්‍රභාකරන් වීරයා නම් ඇයි ඒ ගොල්ලන්ගෙ දරුවන්ව ප්‍රභාකරන් ළඟට එව්වෙ නැත්තෙ. වීර ප්‍රභාකරන් වුණාට එවන්නේ නැතිව එයාලව ඉගෙන ගන්න පිටරට යැව්වා. අරුන්‌ගේ මේ කතා ඇසූ සිංහල හදවත් සැලිණ. ‘‘අන්න මිනිහා’’ එහෙත් අරුන්‌ගේ කතා දෙමළුන්ට ඇසෙන්නේ නැත. අරුන්‌ගේ කතා දෙමළ සමාජයට ඇසෙන්නේ නැත. එසේ ඇසෙන්නේ නැති නම් සිංහලයාගේ සමාජය ඒවා භාර ගැනීමේ තේරුමක් වේද? සැබවින්ම සිංහලයන්, දෙමළුන් වෙනුවෙන් සිතිය යුතු කරුණු කිහිපයක් අරුන්‌ විස්තර කළේය. ‘‘සිංහල සමාජයේ කුලභේදය සියයට එක නම් යාපනේ කුලේ සියයට සියයයි. සිංහල ඉස්කෝලවල දෙමළ උගන්වනවා. ඒත් දෙමළ ඉස්කෝලවල සිංහල උගන්වනවාද? සිංහල උගන්වන්න ගුරුවරු ඉන්නවාද නෑ. ඒක කළා නම් මේ ප්‍රශ්න බොහෝමයක් ඉවරයි. කොළඹ තරුණයන්ට තියෙන නිදහස උතුරේ අපට නෑ. මාවත් කුඩු ටිකක් දාලා වතාවක් රිමාන්ඩ් කළා.’’ සංහිඳියාවට ව්‍යවස්ථා සංශෝධනවලට රුපියල් කෝටි ගණනින් වියදම් කරන ආණ්ඩුව මේවා සිතිය යුතු කාරණාය. ඝණ්ටාරයේ නාදය දෙස නොව ඝණ්ටා​රය ගහන්නේ කුමකටදැයි සොයන ලෙස ගම්බද භික්ෂූහු බෞද්ධයන්ට උපදෙස් දෙති. ඒ නිසා අරුන්‌ කාගේ කවුදැයි නොසොයා ඔහු කියන දේ ගැන සිතීම වටිනේය. අරුන්‌ බොහෝ සෙයින් ප්‍රචලිතව සිටින්නේ මුහුණු පොතේය. දෙමළ සමාජයේ පමණක් නොව අපේ සිංහල නව සමාජයේ තරුණයින් අතරද අරුන්‌ වැනිව සිතන අය හැදී වැඩී එනු පෙනෙයි. අරුන්‌ දෙමළ සමාජය දෙස බලන සෙයියාවෙන්ම සිංහල තරුණයෝද තමන් දෙස, තම නායකයින් දෙස බලති. මේ අරුන්‌ලාගෙන් ප්‍රවේශම් විය යුතුද? නැතිනම් ඇහුම්කන්දිය යුතුද? සිංහල බහුතරය අරුන්‌ව හඳුනා ගන්නට කලින් පෙරටුගාමී පක්ෂය ඔහුව හඳුනාගෙන තිබිණ. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදීය. යාපනේ ඡන්ද අපේක්ෂක නාම ලැයිස්තුවට අපි අරුන්‌ව දැම්මා. එපමණයි. වෙන දෙයක් අපි එයා ගැන නොදනිමු. පෙරටුගාමීහු කීහ. එයින්ම ප්‍රභූ දේශපාලනය සේම යට තිබෙන නිර්ප්‍රභූ දේශපාලනයේ තරමද තේරුම් ගත යුතුය. ඒ පක්ෂයටත් අරුන්‌ යනු නාම ලේඛනයකට වුවමනා නමක් පමණකි. කෙතරම් දේශපාලන ආගමික පොත් කියවා තිබුණත් අරුන්‌ට උතුරේ සේම දකුණේ පක්ෂ දේශපාලනය මේ යයි තේරුම් ගන්නට තව කල් ගත වෙනු ඇත.
 

More News..