brand logo

අර්ශස් ශරීරයේ වෙනත් තැන්වලත් ඇතිවිය හැක

01 January 2021

ගැමියන් අතර මෙම රෝගය ‘මූල රෝගය’ ‘මූලම’ යනුවෙන් හඳුන්වනු ලැබේ. අද සමාජයේ බොහෝ දෙනා අර්ශස් රෝගයෙන් පෙළේ. මෙම රෝගය බොහෝ දෙනා සඟවා ගනු ලබන්නේ, ගුද මාර්ගය ආශ්‍රිතව ඇති වන බැවිනි. වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඇති අපහසුතාව එයට හේතුවයි. රෝගය වැලඳුණු විට ගුදයෙන් පිටවන දුර්ගන්ධ සහිත ශ්‍රාව ගැලීම සමහර රෝගීන් තුළ තමා ගැනම පිළිකුලක් ඇතිවීම හේතුවෙන් මෙහිදී මානසික පීඩාවන්ටද රෝගියා ගොදුරු වේ. ගුද මාර්ගයේ අංකුර ඇතිවීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. සමහර රෝගීන්ට දැවිල්ල සමග ලේ පිටවීමද සිදුවේ. මෙම රෝගයට ප්‍රධාන හේතුව ලෙස මලබද්ධය හැඳින්විය හැකිය. කුඩා දරුවෙකුට වුවද මෙම මලබද්ධය හේතුවෙන් ගුද මාර්ගයෙන් බිංදු වශයෙන් ලේ පිටවීම සිදුවේ. මල වියළීම හේතුවෙන් දැඩි වෙහෙසක් දරා මල පිටකිරීමට උත්සාහ දරන නිසා ගුද මාර්ගය තුවාල වී මෙසේ මල සමග ලේ බිංදු කීපයක් පිටවන අවස්ථා ඇත. අර්ශස් අංකුර තුවාල වීම නිසාද දැවිල්ල සමග ලේ පිටවේ. වඩාත් දුෂ්කර වූ කාර්යය වන්නේ මල මාර්ගය ඉහළටම අර්ශස් අංකුර ඇති වී තිබීමයි. එවිට මල පිටවීම ඉතා දුකසේ සිදු වීමද, වේදනාව අධික වීමද ඇතිවේ. මල හොඳින් පිටවන ආහාර පාන ගැනීමද, ජලය හොඳින් පානය කිරීමද, විශේෂයෙන් උදේට ජලය පානය කිරීම මෙම රෝගයට ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමය ලෙස හඳුන්වා දිය හැකිය. මෙම විශ්වය තුළ ජීවත් වන සියලුම සත්වයන්ට මෙම රෝගය වැලඳෙන බවට පිළිගත් මතයක් පොදු ජනවහරෙහි ඇතත් ගේ කුරුල්ලාට පමණක් එය නොවැලඳෙන බවට තවත් මතයකි. අනෙක් සතුනට වඩා පරිපචන ව්‍යුහාව තුළ එම කුරුල්ලාගේ ඇති සුවිශේෂී බව එයට හේතුවක් ලෙස දක්වා ඇත. දෝෂ කෝප කරන හේතුන්ගෙන් අග්නිය දුර්වල වී ආහාරය නොපැසවීම හේතුකොට ගෙන මල කොටස් රැස්වීම සිදුවේ. රැස් වූ මල කොටස් ගුද මාර්ගය දූෂිත කොට එහි මාංශ අංකුර උපදවාලයි. මෙය ‘අර්ශස්’ ලෙස හඳුන්වන අතර මෙයට අමතරව ශරීරයේ වෙනත් ඉන්ද්‍රියන් තුළද අර්ශස් හටගනී. නාසය, මුඛය, තල්ල, මුහුණ, කන්, ඇස්, ලිංග හා ශරීරයේ හම ආශ්‍රය කර ශරීරයේ කොතැනක හෝ ඇති විය හැකිය. මේවා ‘අධි මාංශ’ හෙවත් ‘මාංශ වෘද්ධි’ වශයෙන්ද හඳුන්වා ඇත. ශරීරයේ වෙනත් ස්ථානවල ඇතිවන මෙම අංකුර ඉතාමත් කලාතුරකින් වේදනාකාරී අවස්ථාවක් පෙන්නුම් කරයි. ගුදය ආශ්‍රිතව ඇතිවන මෙම රෝගය ගුද ද්වාරයේ සිට අඟල් 4 පමණ ප්‍රදේශයකට සීමාවේ. මෙය කොටස් 3ට බෙදා වෙන්කර දක්වා ඇත. 01. ප්‍රවාහිණි 02. සංවර්නී 03. විසර්ජනී ලෙසයි. පිළිවෙළින් ඒවායේ අර්ථය ලෙස මල ක්‍රමානුකූලව අනුලෝචන කරන ස්ථානයද මල දරාගෙන සිටින ගුද කෙළවරද මල පිටකිරීමේ ස්ථානයද වශයෙන් දක්වා ඇත. මෙම ක්‍රියා 3 නිසියාකාරව සිදු වීමට නම් මල කොටස් නියමාකාරයට පිටවීමේ පහසුව ඇති කරවන ආහාර පාන ගැනීමද, ව්‍යායාම කිරීමද, කළ යුතුය. අර්ශස් රෝගයේ පෙර නිමිති දෙයාකාරයට පෙන්වයි. රෝග හේතු අනුව පහල වන ලක්ෂණ හා දෝෂ විකෘතිය නිසා පහල වන ලක්ෂණ වශයෙනි. මල පිටවීමේ වෙනස් වීම, බඩ පුරවා දැමීම, බඩේ ශබ්ද ඇතිවීම, කුසගින්න අඩුවීම මෙන්ම එහි ඇතිවන විකෘතිතාව මෙන්ම විශේෂ හේතුවක් ලෙස ස්වභාවික ලෙස මල පිට නොවීම, පිටවන මල පටියක් ආකාරයට පිටවීම, මල වියළීම, වේදනා සහිතව පිටවීම වැනි තත්ත්වයන්ය. පූර්ව ලක්ෂණ ලෙස මල පිටකිරීමට අවශ්‍යව තිබුණත් එය නියමාකාරයට පිට නොවීම, රාමතෙල් අධික වශයෙන් පිටවීම, ආහාර අරුචිය, කටට ඇඹුල් රස දැනීම, ආහාර දිරවීමේ අපහසුතාවය, බඩේ දැවිල්ල, බඩේ වේදනාව සහිත කැලඹීම, ඇඟ කෙට්ටු වීම, ඔක්කාර නිතර ඇතිවීම, කලවාවල අප්‍රාණික බව, නිදිමත දැනීම, ඉන්දියන්ගේ දුර්වලතාව, කැරකැවිල්ල ආදියයි. අර්ශස් ප්‍රභේද ලෙස දක්වන්නේ නම් 01. වාත අර්ශස් 02. පිත් අර්ශස් 03. කඵ අර්ශස් 04. සන්නිපාත අර්ශස් 05. රත්තජ අර්ශස් දැක්විය හැකිය. ශුෂ්ක අර්ශස්, ශ්‍රාවිය අර්ශස් ලෙස ලක්ෂණ වශයෙන් දැක්වේ. මෙම රෝගී තත්ත්වයන් පිළිබඳ ඉදිරි සතියේ දී පැහැදිලි කරමු.        
 

More News..