brand logo

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කරන ලෙසට කළ ඉල්ලීමට සිංගප්පූරුවේ අවධානය යොමුවෙයි

04 December 2019

මහත් ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට පිටුවහල් කරන ලෙස ඉල්ලා ලංකා රජය විසින් උදර්පණ නීතිය යටතේ යොමුකරන ලද ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බව දන්වා ඇතැයි නීතිපතිවරයා විසින් ඊයේ (04) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දෙන ලදී. මෙම නඩුව ඊයේ සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට අධිකරණය මගහැර විදේශගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඊට අදාළ ලිපි ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරු රජය වෙත යොමුකර තිබෙන බව දන්වා සිටියේය. එම ලේඛන සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බවත් ඊට අදාළව ලේඛන රාශියක් පවතින හෙයින් වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී සිටියේය.. ඉන් අනතුරුව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කිරීම සඳහා එරටදී සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම නඩුවේ දහ වන විත්තිකරු ලෙස නම් කර සිටින අජාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තා මේ වන විට අධිකරණය මගහැර සිංගප්පූරුවට පලා ගොස් සිටින අතර ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා මීට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණි. එහෙත් ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එම සිතාසි නිසි පරිදි යොමු කර නොමැති බවට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම විත්තිකරුට නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළහ. මෙම නඩුවේ තවත් විත්තිකරුවකු ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් මහතාට ජනවාරි මස 6 වනදා තෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශ ගතවීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා ඉල්ලීම් කළේය. එම ඉල්ලීමට අවසර දුන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අධිකරණය භාරයේ රඳවා තිබෙන ඇලෝසියස් මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ අතර එම ශරීර අපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු රජයේ විධායක නිලධාරීයෙකු විය යුතු බවත් අනෙක් ඇපකරු පවුලේ ලඟම ඥාතියෙකු විය බවටත් නියෝග කළේය. ඒ අනුව නඩුව නැවත මාර්තු මස 31 වනදා කැදවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළහ. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම,එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, අධ්‍යක්ෂවරුන් වු අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, පුශ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුළුගල්ල, මුතු රාජා සුරේන්ද්‍රන්, අජහාන් ගාර්දිය පුන්චිහේවා යන අය නම් කරනු ලැබ සිටිති. 2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසිය තුළින් රුපියල් බිලියන 10058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යාපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම තුළින් පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ වරදක් සිදු කිරීම නමැති චෝදනාව නීතිපතිවරයා විසින් මෙම නඩුවේ සියලුම විත්තිකරුවන්ට එල්ල කොට තිබේ. එම වෙන්දේසියේ දී රුපියල් බිලියන 10058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරීමේ දී සාපරාධී විශ්වාසය කඩ කිරීම තුළින් රජයට රුපියල් මිලියන 688,762,100/- ක පාඩුවක් සිදුකළේ යැයි කියමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි යන අයට විරුද්ධව තවත් චෝදනාවක් එල්ල කොට ඇත. ඊට අමතරව අභ්‍යන්තර තොරතුරු භාවිතා කරමින් අදාල වෙන්දේසියේ දී ලංසු තැබීම සම්බන්ධයෙන් මෙම නඩුවේ තුන්වන විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ තවත් චෝදනාවක් ඉදිරිපත් කර තිබේ. (අධිකරණ වාර්තාකරු. )
 

More News..