brand logo

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න - ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වරෙන්තු නිකුත් කරයි

09 August 2019

2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියකදී ජාතික ආර්ථිකයට රුපියල් බිලියන දස දහසකට වැඩි පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී අධිකරණය මගහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කරන ලදී. නීතිපතිවරයා විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අවසර දෙමින් සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරුතුමන්ලා ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබීය. විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වූ මෙම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් කළ නියෝගයේ සඳහන් විය. පසුගිය නඩු දිනයේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ ප්‍රධානතම විත්තිකරුවෝ අර්ජුන් මහේන්ද්‍රන් මේ වෙන විට අධිකරණය මගහැර විදේශයකට පළාගොස් සිටින අතර ඔහු හිතාමතාම අධිකරණය මඟහරිමින් සිටින බව දන්වා සිටියේය.එම විත්තිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමෙන් ප්‍රතිඵලයක් නොමැති බව සඳහන් කළ රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන මෙන්ද ඉල්ලා තිබුණි. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නඩුව කැඳවූ අවස්ථාවේදී අර්ජුන් මහේන්ද්‍රන් සඳහා එම වරෙන්තුව නිකුත් කිරීමට තීරණය කළහ. මෙම නඩුවේ දහවන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තාද මේ වන විට අධිකරණය මගහැර සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඔහු අධිකරණයට කැඳවීම සඳහා සිතාසියක් නිකුත් කරන ලෙස ඉකුත්දා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුනි. එම ඉල්ලීමට අනුව සිතාසි නිකුත් කිරීමට පියවර ගෙන ඇති අධිකරණය එම සිතාසි ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාව දෙසැම්බර් මස 4 වනදා ඉදිරිපත් කරන ලෙසද නියෝග කළහ. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම,එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, අධ්‍යක්ෂවරුන් වු අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, පුශ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුළුගල්ල, මුතු රාජා සුරේන්ද්‍රන්, අජහාන් ගාර්දිය පුන්චිහේවා යන අය නම් කරනු ලැබ සිටිති. 2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසිය තුළින් රුපියල් බිලියන 10058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යාපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම තුළින් පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ වරදක් සිදු කිරීම නමැති චෝදනාව නීතිපතිවරයා විසින් මෙම නඩුවේ සියලුම විත්තිකරුවන්ට එල්ල කොට තිබේ. එම වෙන්දේසියේ දී රුපියල් බිලියන 10058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරීමේ දී සාපරාධී විශ්වාසය කඩ කිරීම තුළින් රජයට රුපියල් මිලියන 688,762,100/- ක පාඩුවක් සිදුකළේ යැයි කියමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි යන අයට විරුද්ධව තවත් චෝදනාවක් එල්ල කොට ඇත. ඊට අමතරව අභ්‍යන්තර තොරතුරු භාවිතා කරමින් අදාල වෙන්දේසියේ දී ලංසු තැබීම සම්බන්ධයෙන් මෙම නඩුවේ තුන්වන විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ තවත් චෝදනාවක් ඉදිරිපත් කර තිබේ. (අධිකරණ වාර්තාකරු )
 

More News..