brand logo

අරගලයේ සුරංගනාව ජාත්‍යන්තරය කලඹයි

17 March 2021

මියන්මාරයේ විරෝධතා දරුණු වී තිබේ. මේ මස මුල් භාගයේ දී පමණ පොලිසිය විසින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ගත් උත්සාහයක දී තවමත් 20 වියටවත් පත් නොවූ මයාත්වී ඛායින්ගේ හිසට වෙඩි තැබිණි. දින 10ක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටන් වැදුණු අරගලයේ සුරංගනාව පසුගිය දා මිය ගියා ය. මයාගේ අවමංගල උත්සවයේ දී මෙන් ම ඉන් පසුත් මියන්මාර විරෝධතාකරුවන් වඩ වඩාත් ප්‍රචණ්ඩ වී ඇති බව පෙනේ. අදටත් ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් සිදු කළ මෙම හමුදා පවරා ගැනීමට එරෙහි ව විරෝධතා පවත්වමින් සිටින පෙළපාලිකරුවන් හට වෙඩි තබා ඝාතනය කරමින් සිටිති. මේ වන විට එම උණ්ඩවලින් අවම වශයෙන් 70 දෙනෙකු මිය ගොස් තිබෙන බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ සහ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරති. 2001 පෙබරවාරි 11 වැනි දින උපත ලද මයා ත්වේ ඛායින්ග් පසුගිය පෙබරවාරි 9 වැනි දින, එනම් ඇගේ 20 වැනි උපන් දිනයට දින දෙකකට පෙර බුරුම අගනුවර වන නෙයිපීතව්හි තාබියෙගන් වටරවුම අසල, ටවුන්ග්නියෝ පාරේ පැවති විරෝධතා රැලියකට එක් වී සිටියා ය. කැරලි මර්දන පොලිසිය රැලිය මැඬපැවැත්වූ අතර විරෝධතාකරුවෝ කිහිප දෙනෙක් තුවාල ලැබූහ. පොලිසිය විසින් වෙඩි තබන අතරතුර මයා ජල කාලතුවක්කුවලින් ආවරණය වෙමින් බස් නැවතුම්පොළක් යට සිටගෙන සිටියාය. එනමුත් මයා හට වෙඩි වැදිණි. එනමුත් එසේ වැදී තිබු‌ණේ ජල උණ්ඩයක් නොවේ, වෙඩි උණ්ඩයකි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී ඇය යතුරුපැදි හිස්වැස්මක් පවා පැලඳ සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. ඇයගේ හිසට වෙඩි වැදුණු මොහොත වීඩියෝ පටයක පටිගත වී තිබෙන බැවින්, මෙය මුසාවක් ය කියා පැවසීමට පොලිසියට නොහැකි වී තිබේ. මේ පිළිබඳ සොයා බලමින් සිටින ජාත්‍යන්තර පර්යේෂකයන් විසින් පවසා තිබෙන්නේ විරෝධතාවයේ පින්තූර විශ්ලේෂණය කිරීමේ දී එක් පොලිස් නිලධාරියකු මියන්මාරයේ සාදන ලද බී.ඒ. 94 හෝ බී.ඒ. 93 දරන උප මැෂින් තුවක්කුවක් රැගෙන යනු තමන්ට දැක ගැනීමට හැකි වූ බව යි. අධිකරණ වෛද්‍ය නිලධාරියා ද පෙන්වා දී ඇත්තේ 09 වන දින දහවල් 1ත් 1.30ත් අතර කාලය තුළ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව යි.අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මයා නගරයේ මහ රෝහලට ඇතුළත් කරන ලදී. පෙබරවාරි 12 වැනිදා උදෑසන වෛද්‍යවරු ඇගේ හිසට වැදී තිබූ උණ්ඩය ශල්‍යකර්මයෙන් ඉවත් කිරීමට උත්සාහ කළහ. එහෙත් ඒ වන විටත් මොළයේ ක්‍රියාකාරිත්වය මුළුමනින්ම අඩපණ වී තිබීම හේතුවෙන් වෛද්‍යවරු ඇයගේ මොළය මිය ගොස් ඇති බව ප්‍රකාශ කළ අතර දින කිහිපයක් ඇතුළත ඔක්සිජන් ලබා දීම ද නවතාලන බව පවුලේ අයට දැනුම් දුන්හ. පෙබරවාරි 14 වැනි දිනටත් මැන්ඩලේ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ දී සහ යාන්ගොන් නගර ශාලාවේ දී මයා වෙනුවෙන් විශේෂ යාච්ඤා මෙහෙයයන් පැවැත්විණි. වෙඩි තැබීමේ වීඩියෝව සහ ලේ තැවරී සිහිසුන් වූ මියාගේ ඡායාරූපයක් බුරුම සමාජ මාධ්‍යවල පුළුල් ලෙස ප්‍රචාරය වූ අතර ආධාරකරුවන් ඇය අරගලයේ සුරංගනාව ලෙස නම් කළහ. වෙඩි තැබීමට සම්බන්ධ යැයි කියන නිලධාරීන් දෙදෙනෙකු සමාජ මාධ්‍ය තුළ දැඩි ව විවේචනයට ලක් කෙරුණු නමුත් වෙඩි තැබූවන්ගේ අනන්‍යතාව තවමත් සොයාගෙන නොමැත. මයා ත්වේ හට සිදු වූ වෙඩි තැබීම හරහා පැහැදිලි වූ ප්‍රචණ්ඩකාරී බලය යෙදවීම ජාතික කෝපයට හේතු වූ අතර, තන්ඩර් හේලිං වැනි ප්‍රසිද්ධ පුද්ගලයෝ ද එය විවේචනය කළහ. මියන්මාර චලන පින්තූර සංවිධානයේ සභාපති, නයි නයි ටුන් ප්‍රකාශ කළේ අපට තවත් මියා ත්වේ කෙනකු දැක ගැනීමට සිදු නොවිය යුතු බව ය. මෙම වෙඩි තැබීමට එරෙහි ව විරෝධතා ව්‍යාපාරයට එක්වන ලෙස ඔවුහු මහජනතාවගෙන් ඉල්ලා සිටියහ. පෙබරවාරි 11 වැනි දින, මයාගේ සහෝදරිය වන මයා තාඩෝ නව්, ප්‍රසිද්ධියේ මාධ්‍ය ඇමතූ අතර, අනාගත පරපුර වෙනුවෙන් හමුදා ආඥාදායකත්වය මුලිනුපුටා දමන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියා ය. මියන්මාරයේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු, තෝමස් ඇන්ඩෲස් ද ඇය පිළිබඳ සිය ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කර ඇත. පෙබරවාරි 11 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවෝ මයාගේ පවුල වෙත ශෝකය ප්‍රකාශ කළ අතර පෙළපාළිකරුවන්ට එරෙහි ව ප්‍රචණ්ඩකාරී බලවේග භාවිත කිරීමෙන් වළකින ලෙසට හමුදාවෙන් හා පොලිසියෙන් ඉල්ලා සිටියහ. පෙබරවාරි 12 වැනි දින ප්‍රගතිශීලී හඬ සංවිධානය විසින් ප්‍රදේශීය සිවිල් සංවිධාන 177ක සන්ධානයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඔවුහු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට විවෘත ලිපියක් යවමින්, මයාට වෙඩි තැබීම විරෝධතාකරුවන්ට එරෙහි ව බලධාරීන් විසින් ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීමට ගත් උත්සහයට උදාහරණයක් ලෙස උපුටා දැක්වූහ. පෙබරවාරි 17 වැනි දින, මයාගේ වෙඩි තැබීමට එරෙහි ව ප්‍රදර්ශනය කෙරුණු මීටර් 15ක් (අඩි 49) දිග දැන්වීම් පුවරුවක් පහළ යැන්ගොන්හි පදික පාලමෙන් ඉවත් කරන ලදී. එහෙත් විරෝධතාකරුවන් ඇයගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම නවතාලූයේ නැත. පෙබරවාරි 19 වැනි දින, ප්‍රදේශීය වේලාවෙන් රාත්‍රි 11.00ට (GMT 04:30) රෝහල විසින් ඇගේ මරණය තහවුරු කරන ලදී. 21 වන ඉරු දින පැවැත්වුණු ඇගේ අවමංගල්‍ය උත්සවය සඳහා 100,000ක් පමණ සහභාගි වූහ. ශ්‍රීනි ලංකා ජයකොඩි
 

More News..