brand logo

අරගලයට යටින් ගලා ගිය ප්‍රේමය

15 June 2019

කොහොමද තිළිණිට ලහිරුව මුණගැහෙන්නේ? මම මුලින්ම රැකියාව කළේ වන් ශ්‍රී ලංකා කියන සැටලයිට් චැනල් එකේ. ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියට. මම රැකියාවට ගියේ 2010 අවුරුද්දෙ. ලහිරුත් වන් ශ්‍රී ලංකා එකේ වැඩට ආවා. එහෙදි තමයි මම මුලින්ම ලහිරුව දකින්නේ. එතකොට ලහිරු කැම්පස් එකේද? නැහැ... ලහිරුත් ඒ ලෙවල් ඉවර වෙලා තමයි රැකියාවට ආවේ. ලහිරු දැක්ක මොහොතෙම ඔහු ගැන අදහසක් ඇති වෙනවද? නැහැ... හැබැයි ලහිරුට නම් මම ගැන ආදරයක් ඇතිවෙලා තියෙනවා. නමුත් ඒක ඔහු මට කිව්වෙ නැහැ. ඒත් ඉතා කෙටි කාලයක් ඇතුළත ලහිරු මගේ හොඳම යාළුවා වුණා. ඕනම ප්‍රශ්නයක් මම කතා කළේ ලහිරු එක්ක. සමහර වෙලාවට ගෙදර ප්‍රශ්නයක් වුණත් මම ඇවිත් කියන්නේ ඔහුට. සමහර වෙලාවට දරාගන්න බැරි ප්‍රශ්නයක් ආපුවම මම අැඬුවෙ ඔහු ළඟ... ඒ තරමට හිතට සැහැල්ලුවක් දැනුණ ලහිරුගේ යාළුකම ළඟ... දවසින් දවස අපේ යාළුකම වැඩිවුණා. මමත් දවසින් දවසම මටත් නොදැනීම ලහිරුට ළං වුණා. ලහිරු මොන වගේ කෙනෙක්ද? මේ ලෝකේ මම දැක්ක නිහතමානීම පිරිමියා ලහිරු. එයා හුඟක් අහිංසක කෙනෙක්. අනෙක් කෙනාව ඉතා ඉක්මනින් තේරුම් ගන්න හැකියාවක් ලහිරුට තිබුණා. කිසිම කලබලයක් නැහැ. කේන්ති ගන්නෙත් නැහැ. මට වඩා ගොඩක් හොඳ ගතිගුණ මම ලහිරුගෙන් දැක්කා. කොහොමද ඔබ දෙදෙනා ආදරවන්තයෝ වුණේ? යාළුකම අපටත් නොදැනීම ආදරයක් බවට පත් වුණා. වෙනසකට වුණේ හොඳම යාළුවා කියන තේමාවට වෙන් කරන්න බැරි බැම්මක් එකතු වෙච්ච එක. කාලයක් යනකොට මගේ හිතෙත් ලහිරු ගැන ලොකු ආදරයක් ලියලන්න ගත්තා... දෙන්නට දෙන්නා ගොඩක් ආදරය කරන්න ගත්තා. ලහිරු විශ්ව විද්‍යාලයට යන්නේ කොයි කාලෙද? 2011 තමා ලහිරු කැම්පස් සිලෙක්ට් වෙන්නේ. එකහෙළාම ඔහු කැම්පස් යන්න බැහැ කියනවා. මාධ්‍ය එක්ක රැකියාව කරන්නයි ඔහුට ඕන කළේ. අනික අනුරාධපුරේට ගිහින් කරන්න දෙයක් නැහැ කියලා ඔහු කිව්වා. කොහොම හරි මමයි, යාළුවොයි ලහිරුගේ දෙමාපියොයි බල කරලා තමා ලහිරුව කැම්පස් යැව්වේ. ලහිරුගේ ඉස්කෝලේ මොකක්ද? ලහිරු ගම්පොළ. ඉගෙනගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. ඔහු අනුරාධපුරේ ගියාම ඔබට තනිකමක් දැනුණේ නැද්ද? දැනුණා. හැබැයි ලහිරු හැම මොහොතකම මට කතා කළා. හැම වෙලාවෙම මාව බලන්න ආවා. ඔහු එහේ ඉන්න කැමැත්තක් තිබුණේ නැහැ. පුංචි දෙයක් වුණත් ලහිරු මාව බලන්න එනවා. පුදුමාකාර ආදරයක් තිබුණේ. එතකොට අන්තරේ කැඳවුම්කරු වෙන්නෙ ඔබගේ කැමැත්ත මතද? නැහැ. මම තදින් විරුද්ධ වුණා. ලහිරු මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වුණා කිව්වාම මට දැනුණේ කේන්තියක්. මම ලහිරුට බැන්නා. ලහිරුගේ යාළුවෝ විරුද්ධ වුණා. නමුත් ඔහු කිව්වේ මම වැරදි දෙයක් කරන්නේ නැහැ කියලා. අවසානයේ ලහිරුගේ කැමැත්තට එකඟ වෙන්න මට සිද්ධ වුණා. ඉස්සර වගේම ඔයා ගැන හොයලා බලන්න ලහිරුට  කාලය තිබුණද? නැහැ... හුඟක් දේවල් මිස් වෙන්න ගත්තා. ඔහු හුඟක් කාර්යබහුල වුණා. ඉස්සර වගේ මාව බලන්න එන එක නතර වුණා. මටයි එයාව බලන්න යන්න වුණේ. ගෙවල්වලට හොරෙන් මම බන්ධනාගාරවලට යනවා ලහිරුව බලන්න. මොකද ඒ තරමටම ලහිරු රිමාන්ඩ් වෙනවා. මට දුකයි. මේවා දරාගන්න බැහැ. මම තනියම අඬනවා. ලහිරු කූඩුවේ ඉන්නකොට ඇස්වලට කඳුළු එනවා. මාව තේරුම් ගන්න ‘තිළිණි’ ඔහු මගේ ඔළුව අතගානවා. ඔහු මාව සැනසුවේ ඒ ආකාරයට. පස්සෙ කාලෙදි මටත් ඒක පුරුදු වුණා. මේ සම්බන්ධය නතර කරන්න හිතුණේ නැද්ද? ඇත්තටම සමහර වෙලාවට මට කේන්තියි. ලහිරුට වෙලාවක් අවේලාවක් නැහැ. මාව බලන්න ආවත් විනාඩි ගානයි මගේ එක්ක කතා කරන්නේ. මාත් එක්ක කතා කළත් අවධානය තියෙන්නේ වෙන දේකට. මට දුකයි. මම අඬනවා. අවසානයේ මම ලහිරුට කිව්වා අපි මේක නතර කරමු කියලා. නමුත් අපේ සම්බන්ධය නතර කරන්න ලහිරු කැමැති වුණේ නැහැ. ඔහුට මාව ගොඩක් ඕන කියලා මට දැනුණා. වැරැද්දක් වුණාම දෙයක් මගහැරුණාම ඔහු මගෙන් සමාව ගන්නවා. ලහිරුගේ මේ නිහතමානී ගතිගුණ නිසා මට ලහිරුව දාලා යන්න හිතුණේ නැහැ. ගෙදරින් සම්බන්දෙට විරුද්ධ වුණේ නැද්ද? සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. ලහිරු මගේ හොඳම යාළුවා කියලා ගෙදරත් දන්නවා. ලහිරු අපේ ගෙදර එනවා. අපේ අම්මා ලහිරුගේ ගතිගුණවලට හරිම ආදරෙයි. හැබැයි ලහිරුගේ දේශපාලනයට ගෙදර අය කැමැති නැහැ. ඒක නිසා අපේ සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තාම අපේ ගෙදර අය තදින්ම විරුද්ධ වුණා. කොහොමද කැමැත්ත ගත්තේ? මම ලහිරුට විතරයි ආදරේ කළේ. අම්මලා මට යෝජනා ගේනවා. මම ඒ අය එක්ක කතා කරලා කියනවා. මට මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා... ඔය විදිහට යෝජනා කීපයක්ම මග ඇරියා. අන්තිමේදී මට යෝජනා ගේන එක එපා වුණා. බැරිම තැන මට කැමැති දෙයක් කරගන්න කිව්වා... ‘‘ඔයා කැමැති තීරණයක් ගන්න... ප්‍රශ්න ආවොත් ඒවත් ඔයාම විසඳගන්න...’’ අන්තිමටම අම්මා කිව්වෙ එහෙම... ඔබ ලහිරුගේ දේශපාලනයට කැමැතිද? මට දේශපාලනයක් නැහැ. මට පක්ෂෙකුත් නැහැ. මම දන්නවා ලහිරු කරන්නේ වැරැද්දක් නෙවේ. එයා සටන් කරන්නේ අනිත් අය වෙනුවෙන්. කිසිම දවසක මමයි ලහිරුයි දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ. ලහිරු සම්බන්ධයෙන් ජීවිතේ වැඩියෙන්ම දුක හිතුණ දවස? 2015 අවුරුද්දේ තමා ලහිරු අන්තරේ කැඳවුම්කරු වෙන්නේ. එයා මට කිව්වේ නැහැ. අජිත් කියලා යාළුවෙක් තමා මට කතා කරලා කිව්වෙ. අන්න උඹගේ කොල්ලා අන්තරේ කැඳවුම්කරු වෙලා’ මට දැනුණ වේදනාව මටම පාලනය කරගන්න බැරි වුණා. මම හොඳටම ඇඬුවා... එදා මට පුදුමාකාර වේදනාවක් දැනුණේ. ලහිරු සම්බන්ධයෙන් නිව්ස් කියන්න වෙනවා නේද? එතකොට මොකද හිතෙන්නේ? හිතට දැනෙන වේදනාව හංගගෙන කියනවා. මොකද ඇතුළෙ ඉන්න කීප දෙනයි දන්නේ මම ලහිරුගේ පෙම්වතිය කියල. සමහරු කාඩ් දෙනකොටයි දැනගත්තේ. ලහිරුව රිමාන්ඩ් වෙලා කියලා මටම කියන්න වෙච්ච අවස්ථා තියෙනවා. ලහිරු ගැන කියන නිව්ස් හදනකොට ඒක හිතට දැනෙනවා. මොකද නිව්ස් එක හදලා මම ඔහුව බලන්න බන්ධනාගාරයටත් යනවා. ඇතුළෙ යාළුවෝ ලහිරුට බණිනවා. මේ හැම දෙයක්ම දරාගෙන වැඩ කරන්න මට සිද්ධ වුණා. කොහොමද මේ විදිහට හැංගිලා ආදරේ කළේ? අපි දෙන්නම තීරණය කළා මේක කවුරුත් දැනගන්න ඕන නැහැ කියලා. විශේෂයෙන්ම මගේ රැකියාව නිසා. එහෙම වුණොත් මට හරියට ජොබ් එක කරන්න බැරිවෙයි කියලා හිතුණා. නමුත් ලහිරුගේ යාළුවෝ දැනගෙන උන්නා... ඔබ යුවතියක්... රළු දේශපාලනය ඔබේ ආදරය යටපත් කරගෙන ඉන්නකොට ඔබට වේදනාවක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා... මොකද මමත් සාමාන්‍ය කෙල්ලක්. මමත් ආසයි මගේ කොල්ලගේ අත අල්ලගෙන යන්න. නමුත් ලහිරුගේ අරගලය දහස් ගාණක් වෙනුවෙන්. මම ඔහුට ඉඩදිය යුතුයි නේද? ආත්මාර්ථකාමී හැඟීම් ආවම මම යටපත් කරගන්නවා. ඉඳලා හිටලා බස් එකේ කතා කර කර  යනවා. හුඟක් වෙලාවට අපි කතා කළේ දුරකථනයෙන්. ඇවිදලා රසවිඳින ප්‍රේමයක් තිබුණේ නැහැ. ලහිරුගේ කැමැති දේවල් මොනවද? මුහුද දිහා බලාගෙන ඉන්න ලහිරු කැමැතියි. ඉඩක් ලැබුණම බීච් එකට යනවා. හිතේ හිරකරගෙන ඉන්න දේවල් ලහිරු ඒ වෙලාවට කියනවා. පෘට්සැලඩ් කන්න ලහිරු හරිම කැමැතියි. ලැබෙන පුංචි විවේකය හරි මගෙත් එක්ක ඉන්නයි කැමැති. ඉස්සර ගතිගුණමද දැනුත් ලහිරුට තියෙන්නේ? ඔව්. චුට්ටක්වත් වෙනස් වෙලා නැහැ. ශිෂ්‍ය සංගම්වල අය කියන්නේ මාර හොඳ හිතක්ලු ලහිරුට තියෙන්නේ. එයාව දන්න අය කවදාවත් එයාගේ නරකක් කියනවා මම අහලා නැහැ. ලහිරු දැන් මොකද කරන්නේ? පූර්ණකාලීනව දේශපාලනය කරනවා. ඔබ කැමැතිද ඒකට? කවදාවත් අපි අපිට බලපෑම් කරගෙන නැහැ. ලහිරු මට මීඩියා කරන්න එපා කියලා නැහැ. මමත් ලහිරුට දේශපාලනය කරන්න එපා කියන්නේ නැහැ. රිමාන්ඩ් වුණාම මොකද හිතෙන්නේ? මුල් කාලේ අඬනවා. පස්සේ පුරුදු වුණා. එයා රිමාන්ඩ් වෙච්ච හැම සැරේකම මම බලන්න ගියා. ගෙදරට හොරෙන්... ආයතනයට හොරෙන්... යාළුවන්ට හොරෙන් යන්නේ...රිමාන්ඩ් වෙච්ච වාර ගණන මතක නැහැ. ගිහින් අඬනවා. ලොකුවට හිතන්න එපා කියලා එයා මගේ ඔළුව අතගානවා.’’ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..