brand logo

'අරක්කු ස්ටිකරයේ' පමාවෙන් රජයට රු.බිලියන 10ක පාඩුවක්

05 May 2021

මත්පැන් බෝතල්වල ප්‍රමිතිය ආරක්ෂා කෙරෙන ස්ටිකරය ඇලවීම ප්‍රමාද කිරීම හේතුවෙන් වසරකට රුපියල් බිලියන 10ක පමණ මුදලක් රජයට අහිමිවන බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ‘අරුණ’ට පැවසීය. මෙම ස්ටිකර් ඇලවීමේ ක්‍රියාවලිය සිය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය යුතු බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. ‘‘මේ ස්ටිකර් ඇලවීම කළ යුත්තේ මගේ යටතේ. ඒත් මට ගැටලුවක් නැහැ ඒක කවුරු කළත්. මේ වැඩසටහන ක්‍රියාත්මක නොවීම නිසා රජයට විශාල පාඩුවක් වෙනවා. ඔය ප්‍රසම්පාදන කටයුතුවලට මගේ සම්බන්ධයක් නැහැ. නමුත් නිසි විදිහට ඒ කටයුතු සිදුවිය යුතුයි. මගේ මතය තමයි මේ ස්ටිකර් තියෙන්නම ඕනේ කියන එක. දැනට මාස විසි දෙකක් තිස්සේ මේක ප්‍රමාද කරමින් තියෙනවා. යැයි පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මෙම ස්ටිකර් ඇලවීම පිළිබඳ කටයුත්ත මේ වන විට මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවතින බවත් සඳහන් කළේය. මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.අර්. ආටිගලගෙන් ‘අරුණ’ කළ විමසීමකදී සඳහාන් කළේ එළැඹෙන ජූලි 01 වැනිදා සිට මෙම ස්ටිකර් ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් එම ස්ටිකර් පරීක්ෂා කිරීමට අදාළ ජංගම දුරකථන යෙදුම හඳුන්වා දීමටත් රජය සූදානම් බවයි. දැනට මත්පැන් නිෂ්පාදකයන් විසින් වෙළෙඳපොළට නිකුත් කෙරෙන මත්පැන් බෝතල් ගණනය කිරීමේ ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වයන් පවතින බැවින් වංචනික ආකාරයෙන් වෙළෙඳපොළට මත්පැන් නිකුත් කෙරෙන බවත් ඒ ඔස්සේ රජයට විශාල අලාභයක් (රුපියල් බිලියන 10ක් පමණ) සිදුවන බවත් මුදල් ලේකම්වරයා ද පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මෙම ස්ටිකර් ක්‍රමය ඔස්සේ එම ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙන බවද හෙතෙම කියයි. නයන තරංග ගමගේ
 

More News..