brand logo

අරක්කු ගැන හෙළිදරව්ව ඵල දරයි

26 April 2021

අරුණ හෙළිදරව්වට පසුදිනම සුරාබදු ආඥා පනත සංශෝධනය කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

අරක්කුවලට ප්‍රමිතියක් ඕනෑ’ නමින් පසුගිය සතිඅග අරුණ කළ හෙළිදරව්වෙන් පසු ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේත්, පාර්ලිමේන්තුවේත් දැඩි කතාබහක් ඇති වී තිබේ. සතිඅග අරුණ හෙළිදරව්වට පසුදිනම සුරාබදු කොමසාරිස්වරයා ප්‍රකාශයක් කොට ඇත්තේ වසර 108 ක් පැරණි සුරාබදු ආඥා පනත සංශෝධනයට ලක්කරන බවය.

ස්ටිකරය ගැන පළහිලව්ව පාර්ලිමේන්තුවේ බුද්ධික පතිරණ අසයි

හොර සුරා ව්‍යාපාරය නැවැත්වීමට මෙරට මත්පැන් නිෂ්පාදන මත ආරක්ෂක ස්ටිකරයක් හඳුන්වා දීමට යෝජනා කරන ලද්දේ 2016 අයවැය යෝජනාවක් ලෙසය. මෙම ස්ටිකරය මුද්‍රණ ටෙන්ඩරයට රාජ්‍ය මුද්‍රණ සංස්ථාව ඇතුළු දේශීය සමාගම් ද ලංසු ඉදිරිපත් කළමුත් එම ටෙන්ඩරය දෙන ලද්දේ ඉන්දියානු MSP ආයතනයටය. ආනයනික මත්පැන් මත මුලින්ම ආරක්ෂිත ස්ටිකරය අලවන ලද්දේ 2019.07.20 දින සිටය. සති අග අරුණ හොර සුරා ගැන ප්‍රවෘත්තිය පළ කිරීමෙන් පසු අප්‍රේල් 20 වැනිදා බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ විදේශීය මත්පැන් මතද අලවා ඇති ආරක්ෂක ස්ටිකරයේ QR කේතය පරීක්ෂා කිරීමේදී එය ක්‍රියාත්මක නොවන බවය.

සියලු දේශීය මත්පැන්වල ආරක්ෂක ස්ටිකරය ජූලි 01 වැනිදා සිට

ඊට පසුදිනම ප්‍රකාශයක් නිකුත් කළ සුරාබදු දෙපාර්තමේන්තුව එම QR කේතය ක්‍රියාත්මක නොවීමට හේතු පැහැදිලි කොට ඇත. සුරාබදු දෙපාර්තමේන්තුව පටන්ගත් විදේශීය මත්පැන් මත සරාබදු ස්ටිකරය ඇලවීම සමස්ත ව්‍යාපෘතියෙන් 1% ක් පමණක් බවය. 2021.07.01 දින සිට දේශීය මත්පැන් මූඩියටත් මෙම ස්ටිකරය හඳුන්වා දීමෙන් පසු එම ආරක්ෂිත ස්ටිකර් කළමනාකරණ පද්ධතිය පූර්ණ වශයෙන් සක්‍රිය කිරීමට හැකියාව ලැබෙනු ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කොට ඇත. ස්ටිකරය ඇලවීමේ මූලික පරමාර්ථය වී තිබෙන්නේ නීත්‍යනුකූල නොවන මත්පැන් වෙළෙඳපොළට පැමිණීම වළක්වා ගැනීමට වන අතර මෙම ස්ටිකරය හරහා මත්පැන්වල ප්‍රමිතිය තහවුරු ‍කෙරෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් තහවුරු කොට ඇත. මෙම නිවේදනය නිකුත් වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසා ඇත්තේ, ‘මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් සිදුවිය හැකි අක්‍රමිකතා පිළිබඳ පාර්ලිමේන්තුව තුළ දී තමා අනාවරණය කළ බොහෝමයක් කරුණු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන ඇති බවය. මෙම කාරණාවට අදාළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් උපුටා දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කොට ඇත්තේ මත්පැන් බෝතල් මත ස්ටිකර් කේත ඇලවීම සම්බන්ධයෙන් පවතින අක්‍රමිකතා රැසක් පිළිබඳ තමා අනාවරණය කළත් සුරාබදු දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් පිළිතුරු දී ඇත්තේ අදාළ ස්ටිකර් කේතය ජනතාවට ජංගම දුරකථන මගින් කියැවීමට නොහැකිය යන කාරණාව පිළිබඳ පමණක් බවයි.

ස්ටිකරය නැතිනම් මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහෝසියි

මේ අතර දේශීය මත්පැන් බෝතල්වලටද ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අනිවාර්යය කිරීම ගැන දේශීය මත්පැන් නිෂ්පාදකයන් තම විරෝධතාව ප්‍රකාශ කොට ඇත. ඔවුන් පවසන්නේ අරක්කු බෝතල් නිෂ්පාදනය කරන වේගයට ස්ටිකර් ඇලවීමේ යන්ත්‍ර තමන් සතුව නැති බවය. සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදන ආයතනවල විරෝධයට එරෙහිව ප්‍රකාශ කොට ඇත්තේ ආරක්ෂක ස්ටිකරය නියමිත දිනට ඇලවීමෙන් වළකින මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන බවය. වජිර ලියනගේ
 

More News..