brand logo

අරක්කුවලට SLS සහතිකයක්

01 May 2021

අරක්කුවලට ප්‍රමිතියක් අවශ්‍ය බව මුලින්ම මෙරට හඬක් නගන ලද්දේ සති අග අරුණ පුවත්පත විසිනි.අරුණ මුලින්ම අරක්කු ගැන පළ කළ ලිපියේ ප්‍රමිති ආයතනය අරක්කු ගැන ප්‍රමිතියක් හදන බවට කළ ප්‍රකාශයක් ගැන සඳහන් විය. සති අග අරුණ පුවත්පතේ ‘අරක්කු ප්‍රමිතිය’ ගැන සඳහන් ප්‍රවෘත්තියේ ඒත් ඉතින් අවුරුද්දක් ගත වුණත් ප්‍රමිති කාර්යාංශය හදපු ප්‍රමිතියක් නැත යනුවෙන් සඳහන් විය.   එම සති අග අරුණ පුවත්පත නිකුත් වීමෙන් පසු පසුගිය අප්‍රේල් 27 වැනිදා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කොට තිබේ. මෙලෙස නිකුත් කොට ඇත්තේ එම ආයතනයේ සහකාර අධ්‍යක්ෂ (නීති) නීතිඥ රුවන් හරිස්චන්ද්‍ර මහතා විසිනි. එම නිවේදනයේ සඳහන් වන්නේ 2021.04.08දී සති අග අරුණේ 05 වැනි පිටුවේ අරක්කුවලට ප්‍රමිතියක් ඕනෑ කර තිබේ යනුවෙන් පළවූ ලිපියේ සාවද්‍ය කරුණු කිහිපයක් අඩංගු වී ඇති බවය. හරිස්චන්ද්‍ර මහතා පවසන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමක් අනුව ප්‍රමිති ආයතනය මත්පැන් සඳහා ප්‍රමිතියක් සම්පාදනය කර ඇති බවය. මේ සඳහා මත්පැන් සම්බන්ධ විශේෂඥයින් සහ මත්පැන් නිෂ්පාදන ආයතන නියෝජිතයන්ද සහභාගිත්වයෙන් අරක්කු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිළිිවිතරය යෝජනා කළ අතර එය නිෂ්පාදකයන්ගේ ප්‍රායෝගික අපහසුතා සැලකිල්ලට ගෙන නැවත සංශෝධනය කොට එකඟත්වයක් ඇති කර ගත් බවය. මෙම පිළිවිතරය සැකසීමේදී සුරාබදු දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට අවසානය දක්වාම නියෝජනය කළ බවද හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයනතය නිකුත් කළ නිවේදනයේ හඳුන්වන්නේ අරක්කු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිළිවිතර SLS 919:2020 බවත් රම් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිළිවිතර SLS 1687:2020 ද විස්කි සඳහා 1687-4:2020 ද ජින් සඳහා SLS 1687-5:2020 ද ටිකියුලා සඳහා SLS 1687-6:2020 ද ආනයනික උසස් මත්පැන් සඳහා 1687-7:2020 ද බියර් සඳහා SLS 234:2020 ද ශ්‍රී ලංකා ප්‍රමිති පිළිවිතර සම්මත කර ඇති අතර ඒවා ඕනෑම පුරවැසියකුට පරිශීලනයට හෝ මිලයට ගැනීමට පහසුකම සලසා තිබේ. එහෙත් අරක්කු ප්‍රමිතිය ගැන ලිපිය ලිවීමට පෙර අරක්කුවල ප්‍රමිතියක් හඳුන්වා දෙන බවට මීට වසරකට පෙර ප්‍රමිති ආයතනය කළ ප්‍රකාශය ගැන කිහිප වරක් ප්‍රමිති ආයතනයෙන් විමසීම් කළමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට කිසිදු බලධාරියකු ඉදිරිපත් නොවීය.

මිලදී ගන්නා මත්පැන් බෝතලයක් මෙම පිළිවිතරවලට අනුකූලව නිෂ්පාදනය කොට ඇත්දැයි තහවුරු කර ගන්නා ආකාරය ගැන ‘අරුණ’ කළ විමසීමේදී ප්‍රමිති ආයතනය ඒ සම්බන්ධයෙන් විමසිය හැකි ආයතන ලෙස කාර්මික සංවර්ධන අධිකාරිය, ප්‍රමිති ආයතනය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය ලවා එම පර්‌යේෂණ කරවා ගත හැකි වුවත් නිසි බලධාරියා සුරාබදු දෙපාර්තමේන්තුව බැවින් එම දෙපාර්තමේන්තුවට තම ඉල්ලීම මුලින්ම ඉදිරිපත් කිරීමෙන් මේ සඳහා සහාය ලබා ගත හැකි බවත් තහවුරු කරන ලදී. මත්පැන් සඳහා ප්‍රමිතියක් සම්පාදනයක් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්වරයාගෙන් ‘අරුණ’ කළ විමසීමේදී දැනගන්නට ලැබුණේ අරක්කු සඳහා SLS ලාංඡනය ලබා ගැනීමට කිසිදු මත්පැන් නිෂ්පාදන ආයතනයක් ඉල්ලුම් ​කොට නොමැති බවය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ද පවසන්නේ කිසිදු මත්පැන් නිෂ්පාදන ආයතනයක් තමන්ගේ අරක්කු සඳහා SLS සහතිකය ඉල්ලුම් කොට නැති බවය. වජිර ලියනගේ

සබැඳි පුවත් -

අරක්කුවලට වස කලවං වෙලා? - https://bit.ly/3eJCAv5 අරක්කු ගැන හෙළිදරව්ව ඵල දරයි - https://bit.ly/3udnRiw
 

More News..