brand logo

අයෝමය පුරුෂයින් ගන්නා මාරක උත්තේජක

31 December 2018

ඈත අතීතයේ සිටි බලසම්පන්න පුරුෂයන් දැක්වෙන චිත්‍රයේද ඇත්තේ අඩුම තරමින් ‘සික්ස් පැක්’ සිරුරකි. එදා මෙදා තුර පුරුෂයාගේ පෞරුෂයේ බාහිරට එකෙනෙහිම ප්‍රකට වන ලක්‍ෂණය නම් මේ ‘සික්ස් පැක්’ වූ ‘එයිට් පැක්’ වූ මස්පිඩු ඉල්පෙන සිරුරයි. කමිසයේ අත්වලට කිටි කිටියේ හිරවුණු කලව ප්‍රමාණයේ බාහුවයි. තාරුණ්‍යයේ භාෂාවෙන් නම් එය හැඳින්වෙන්නේ ‘ඇඟ දානවා’ ලෙසිනි. ළමා විය ගෙවී තාරුණ්‍යයට එළැඹෙන සෑම පිරිමි මනසකම පාහේ ඇත්තේ මෙවැනි සිරුරක් පිළිබඳ හීනයකි. මේ නිසා පිරිමි කවුරුත් කාය වර්ධනයට කැමැති වෙති. හංදියක් හංදියක් පාසා හතු පිපෙන්නාක් මෙන් දැමෙන කායවර්ධනාගාර විසින් කියනු ලබන්නේ ඒ කතාවයි. මෙය හුදෙක් ශරීරයේ හැඩය වඩන කලාවක් පමණක් නොවේ. එය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවකි. ක්‍රීඩාවක් දක්වා මෙය වර්ධනය කර ගැනීමට නම් නැතහොත් තේරෙන භාෂාවෙන් ‘ස්ටේජ් නැගීමට’ නම් ඇඟ ටිකක් ‘පුම්බා’ මදිය. තරගකාරී මට්ටමට මස්පිඩු වර්ධනය කරගැනීමට නම් එක පිට එක මස්පිඩු ‘ලෙළදිය’ යුතුය. එසේ එක පිට එක පිහිටා ලෙළදෙන ශරීර ඇති කායවර්ධන ක්‍රීඩකයන් අප තරුණ පරම්පරාවේ සුපර් ස්ටාර්ස්ලා බවට පත්වීම නිරායාසයෙන් සිදුවන්නෙකි. නමුත් යීස්ට් මෙන් ‘පිපෙන’ ඒ ශරීර පිටුපස ඇති යථාර්ථය නම් කටුකය. අප කියන්නට යන කතාව ඇරඹෙන්නේ මෙතැන් සිටය. ‘ස්ටේජ් නගින’ මට්ටම ඇඟ රැගෙන ඒමට නම් යකඩ කෑලි එසවූ පමණින්ම නොහැකිය. යකඩ කෑලි ඔසවා ඇඟට ව්‍යායාම දුන් පමණින් ශරීරයේ මස්පිඩු වැඩේ නම් උදේ පටන් යකඩ ඔසවන, මයිනහම අදින අපේ ගමේ කම්මල් බාස්ද ස්ටේජ් නැගිය හැකි මට්ටමේ සිරුරක හිමිකරුවෙක් විය යුතුය. නමුත් එසේ නොවේ. මොන තරම් මහන්සි වී වැඩ කළත්, මොන තරම් ශරීරයට ව්‍යායාම දුන්නත් ඒවායින් මස්ගොබ නැංවෙන ප්‍රමාණය සීමා සහිතය. නමුත් ස්ටේජ් නගින ‘අයියලාගේ’ මස් ගොබ අසීමිත ලෙස වැඩී තිබේ. අපගේ කතාවට වස්තු වනුයේද මේ අසාමාන්‍ය මංශ පේශි වර්ධනයයි. ඒවා අසාමාන්‍ය ලෙස වැඩීමට නම් ඒවාට ව්‍යායාමය ඉක්මවූ ‘අසාමාන්‍ය සාත්තුවක්’ ලැබිය යුතුය. නමුත් මේ අසාමාන්‍ය සාත්තුව යනු ප්‍රකෘතිය ඉක්මවූ විකෘතියකි. එය තහනම් උත්තේජකවල ප්‍රතිඵලයකි. තහනම් උත්තේජක භාවිතයෙන් තොරව ‘ස්ටේජ් නගින’ මට්ටමට වර්ධනය කරගත් ශරීරයක් වේ නම් ඒ ලීයකින් කැපූවක් හෝ මැටියෙන් තැනූවක් මිස සැබෑ මනුෂ්‍ය ශරීරයක් නම් විය නොහැකිය. මන්ද ඒ මාංශපේශි වර්ධනය සාමාන්‍ය ජීව විද්‍යාත්මක තත්ත්වයන් ඉක්මවූවක් බැවිනි. නමුත් තහනම් උත්තේජක මගින් ලබාදෙන මේ කෘත්‍රිම පෝෂණය හා අස්වාභාවික මාංශ වර්ධනයේ පසු විපාකය ගැන ‘සික්ස් පැක්- එයිට් පැක්’ පසුපස දුවන යෞවනය දැනුවත් කිරීමට කවුරුන් හෝ විසින් ප්‍රමාණවත් පියවරක් රැගෙන ඇතිද යන්න ගැටලුවකි. මේ තහනම් උත්තේජන බොහෝමයක් එන්නේ අතිරේක පෝෂණයන් හෙවත් ‘සප්ලිමන්ට්’ හරහාය. ඒවා රට තුළට එන්නේ ‘අතිරේක ආහාරමය පෝෂණයක්’ යන ලේබලයට මුවා වෙමිනි. ඒවායේ අඩංගු මොනවාදැයි සෙවීමට මෙරට බලය පැවරුණු අධිකාරියක් නැත. රටේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ආහාර සඳහා මෙන්ම ඖෂධ සඳහාද වෙනම නියාමන ඒකක ඇතත්, රට තුළට ඉවක් බවක් නොමැතිව එන මේ ‘සප්ලිමන්ට්’ වල ඇත්තේ මොනවා දැයි සොයා බැලීමට ඔවුන් කිසිදු පියවරක් ගෙන නොමැති බව නම් සහතිකය. මේවා මෙරටට පැමිණීමේදී කුමන හෝ පිළිගත් රාජ්‍ය ආයතනයක් හෝ නියාමනයක අවසරයක් හෝ ලියාපදිංචිවීමක් කර තිබේද? ඒ කිසිවක් සිදුවන්නේ නැත. මේවා බොහෝ විට ගුවන් මගින් ගමන් මල්ලේද රැගෙන එයි. ඒවා කවුරුන් විසින් නම් පරීක්‍ෂා කරන්නද? කවුරුන් විසින් එයට ‘එපා’ කියන්නද? සියල්ල නිදහසේ තරුණයන්ගේ ශරීර තුළ තැන්පත් වේ. එපමණක්ද? මෙම තහනම් උත්තේජක සහිත හෝමෝන එන්තත් ලෙසින් ‘ගෙඩිය පිටින්ම’ ශරීරගත කරන කායවර්ධන උපදේශකයන් හංදියක් හංදියක් ගානේ සිටියි. අද රටේ ඇති කායවර්ධනාගාර බොහොමයක තිරය පිටුපස කුණු කූඩයේ ‘සිරින්ජර’ දුසිම් ගණනින් ඇත. මේවා, කායවර්ධනගාර වෙත එන තරුණයන් එකිනෙකා වෙත වතුර විදිමින් විනෝද වීමට රැගෙන ආ ඒවාද? නැත. බොයිලර් කුකුලන් දවස් 45න් මසට පිම්බෙන්නට හෝමෝන එන්නත් කරන්නේ කෙසේද, කායවර්ධනාගාරවල තිරය පසුපස කතාවද එයින් ඒ හැටි වෙනසක් නැත. මස්පිඩු පිම්බීමේ සිහිනයෙන් කායවර්ධනාගාර වෙත එන තරුණයන්ට ඒවායෙහි උපදේශකයන් විසින් පළමුවෙන්ම ඔළුවට දමන්නේ ‘ෂෙඩියුල් එක’ හෙවත් ව්‍යායාම මාලාව කළ පමණින් ‘ඇඟ දැමිය’ නොහැකි බවයි. මේ බොහෝ උපදේශකයන් මෙරටට සප්ලිමන්ට් සහ හෝමෝන එන්නත් රැගෙන එන මුදලාලිලාගේ ඒජන්තවරුය. තරුණයන්ගේ ‘පිරිපුන් මස්ගොබ’ සිහිනයට ‘සප්ලිමන්ට්’ කවා, හෝමෝන එන්නත් කර උන් ජීවත්වෙති. නමුත් මේ ‘ගොඩවෙද්දු’ විසින් තමන්ගෙ ඇඟට කවනදේ මොනවා දැයි නිදහස් මනසින් සොයා බැලීමට මේ එකදු හෝ තරුණයෙක් පෙලඹේද යන්න ගැටලුවකි. මේ ‘ඇඟදාන’ හීනයේ ඇඟ කිළිපොලා යන ඇත්ත මෙසේය. මෙවැනි උත්තේජක පිළිකා වලට අතවනයි. අක්මාවට අහිතකරය. වකුගඩුවලට හානි කළ හැක. මේවා මගින් ලේ වල උකුගතිය වැඩි කිරීම නිසා මොළයට ලේ සැපයෙන නහර අවහිර වී ආඝාත තත්ත්වයන් පවා ඇතිවිය හැක. එපමණක් නොවේ කෘත්‍රිමව ශරීරගත කරන මෙම හෝමෝන හේතුවෙන් පුරුෂ ශක්තිය හීන වී යා හැක. මේ සියල්ලේ එකතුව අකල් මරණයක් විය හැකිය. ‘ඇඟදාන’ හීනයේ ඇඟ කිලිපොලා යන ඇත්ත එසේය. ඉකුත්දා කොළඹට ආසන්න නගරයක වයස 30 ගණනක් වන ‘ඇඟදැමූ’ තරුණයෙකු හදිසියේ මළේය. එයට හේතුව ඉවක් බවක් නැති මේ තහනම් උත්තේජක භාවිතය යැයි කියැවේ. පුදුමය නම් එම තරුණයාගේ පියා මෙරටට තහනම් උත්තේජක හඳුන්වාදුන් අයෙක් වීමය. සිදුවීම දෛවෝපගතය. අවිගත්තෝ අවියෙන්ම නැසෙන්නේය යන කියමන ‘තහනම් උත්තේජක ගත්තෝ තහනම් උත්තේජක වලින්ම නැසෙති’ යැයි යාවත්කාලීන කිරීමට කාලය පැමිණ ඇත්තේද? මේ සා භයානක තහනම් උත්තේජක සම්බන්ධයෙන් රටේ නීතිය කුමනාකාර දැයි විමසා බැලිය යුතුය. තහනම් උත්තේජක සම්බන්ධයෙන් ලොව උපරිම දඬුවම් ලබාදෙන රටවල් අතරින් එකකි මේ ශ්‍රී ලංකාව. තහනම් උත්තේජක භාවිතය සහ එයට අනුබල දීම වෙනුවෙන් සිර දඬුවම් පැනවීම දක්වා වූ නීති මෙහි සම්පාදනය වී ඇත. නමුත් ගැටලුව වන්නේ එම නීතියේ දැල එළා මේ තහනම් උත්තේජක වරදකරුවන් අල්ලා ගන්නේද නැතිනම් එම දැල හකුළා මුල්ලකට දමා ඇත්තේද යන්නයි. තරගයක් පැවැත්වූ විට අහඹු ලෙස තහනම් උත්තේජක පරීක්‍ෂාවක් කළ පමණින් එයට වැට බැඳිය නොහැක. රට තුළට එන ‘සප්ලිමන්ට්’ ආදිය මෙරට වගකිවයුතු ආයතනයක් යටතේ ලියාපදිංචිය අනිවාර්යය කිරීම මෙන්ම ඒවායේ තහනම් උත්තේජක සංඝටක අඩංගු නොවන බවට පරීක්‍ෂාවක්ද කළ යුතුය. එනම් නිසි නියාමනයකට ලක්කළ යුතුය. එසේ සිදුකිරීමේදී තහනම් උත්තේජක සංඝටක සහිත ‘සප්ලිමන්ට්’ මෙරටට පැමිණෙන බව තහවුරු වුවහොත් එය ගෙන්වන තැනැත්තාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුය. කායවර්ධනාගාර පිළිබඳ සෝදිසියෙන් සිට ඒවායේ හෝමෝන එන්නත්වන බව තහවුරු වුවහොත් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කළ යුතුය. මේවා සිදු නොවන්නට මෙරට තරුණ පරපුර මේ ව්‍යසනයෙන් බේරාගත නොහැකිය. අද තහනම් උත්තේජක පරීක්‍ෂාවකට කැඳවූ විට මේ උත්තුංග දේහධාරී ක්‍රීඩකයෝ වැටට උඩින් පැන දුවති. සමහරෙක් තමන් මේවා ගන්නා බව ප්‍රසිද්ධියේම පිළිගනිති. රටේදී බැරිනම් පිටරට ගොස් මෙම කායවර්ධන එන්නත් ලබාගෙන එති. එක පිට එක මස් පිඩුද වඩවති. ස්ටේජ් නගිති. දිනති. වීරයෝ බවට පත්වෙති. බුහුමන්ද ලබති. එහෙත් හැලිය යට ගින්දර ඇති බව නොසිතති.
 

More News..