brand logo

අයි.පී.එල්. 13වැන්න හෙට සිට

18 September 2020

උද්ගත කොරෝනා වයිරස තත්ත්වය හමුවේ දිනෙන් දින කල් යාමට ලක් වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 13 වැනි අදියර හෙට (19 වැනිදා) රාත්‍රී 9.00ට ඉකුත් ශූර මුම්බායි ඉන්දියන්ස් සහ අනුශූර චෙන්නායි සුපර්කිංග්ස් අතර පැවැත්වෙන තරගයෙන් ඩුබායිහිදී ආරම්භ වේ. එම තරගය ඩුබායිහි ශෙයික් සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අදාළ තරගාවලිය ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන තුන්වැනි අවස්ථාව මෙය වේ. මීට ඉහතදී පැවැති තරගාවලි 12ක් අතුරින් 2009 සහ 2014 වසරේ පැවැති තරගාවලි පමණක් ඉන්දියාවෙන් පිටත පවත්වා තිබේ. ආරක්ෂකමය තත්ත්වය මත 2009 වසරේ දකුණු අප්‍රිකාව කරා රැගෙන ගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2014 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන යනු ලැබුවේ එවකට ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබුණු මැතිවරණය හේතුවෙනි. කෙසේ නමුත් එවර තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවේ බැංගලෝර්හිදී පවත්වා තිබුණි. කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා අයත් මුළු තරග ගණන 60කි. එහිදී එක් කණ්ඩායමකට මූලික වටයේ තරග 14කට බැගින් සහභාගි වීමට සිදු වේ. අයි.පී.එල්. ඉතිහාසයේ තරගවාර 12ක් අවසන් වන විට පන්දුවට පහරදෙන්නන් අතර පෙරමුණ ඉන්දීය නායක මෙන්ම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලිට හිමිව තිබේ. ඔහු මේ වන විට රැස්කරගෙන තිබෙන මුලු ලකුණු සංඛ්‍යාව 5412කි. පන්දු යවන්නන් අතර මුල් ස්ථානය මුම්බායි පිලේ ලසිත් මාලිංගට හිමිව ඇත. පැවැති තරග වාර 11ක් ක්‍රීඩාකර තිබෙන මාලිංග තරග 122කදී දවාගෙන තිබෙන මුළු කඩුලු සංඛ්‍යාව 170කි. මෙවර තරගාවලිය සඳහාද මාලිංගට මුම්බායි ඉන්දියන්ස් පිලෙන් ඇරියුම් ලැබුණු නමුත් පෞද්ගලික හේතුවක් දක්වමින් ඔහු අදාළ තරගාවලිය සඳහා සහභාගි නොවීමට තීරණය කර ඇත. මාලිංගට අමතරව ක්‍රීඩකයෙක් වශයෙන් අයි.පී.එල්. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන්නේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන පමණි. පළමු වතාවට අයි.පී.එල්. තරගාවලියක් සඳහා සහභාගි වන ඉසුරු එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරයි. මීට අමතරව මහේල ජයවර්ධන පුහුණුකරුවෙක් ලෙසින් මෙම තරගාවලිය සඳහා එක්වේ. මහේල මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කරනු ලබන අතර ඔහු මුම්බායි පිලේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන සිව්වැනි වසර මෙය වේ. මීට පෙර ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ 2017 සහ 2019 යන වර්ෂයන්හි මුම්බායි පිල අදාළ ශූරතාව දිනා තිබේ.
 

More News..