brand logo

අයි එස් රෙද්දෙන් කාත්තන්කුඩියේ වහාබ් ආණ්ඩුව හංගා ගන්නා සැටි

03 June 2019

කාලයක් තිස්සේ නැගෙනහිර පළාතේ ගොඩනැඟෙමින් තිබූ වහාබ් ආණ්ඩු හෙවත් කලාපීය ඉස්ලාමීය පාලනයන්හි මුල්ම නිෂ්පාදනය වූයේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයයි. වසර ගණනාවක් තිස්සේ මේ පාලනයන් ගොඩනැගෙද්දී ඔවුන්ගේ නින්ද බිඳුණේ බෝම්බ පුපුරා යන ශබ්දවලටය. දැන් ඔවුහු අවදි වී සහරාන් මවුලවි ඇතුළු අපරාධකරුවන්ට කල්වේලා ඇතිව දීමට සිටි දඬුවම් ගැන කටමැත දොඩවති. මේ සියල්ලේම අරමුණ තමන් යටත් වී සිටි තව්හිද් ජමාත් අන්තවාදය ආරක්ෂා කිරීමටය. වහාබ්වාදයක් නොතිබුණේය කියා ඔප්පු කිරීමටය. ඉහත අපරාධ වෙනුවෙන් දැන් ලංකාවේ මුස්ලිම්වරු පොදුවේ බලවත් පීඩාවකට ලක්වී සිටිති. ජන කණ්ඩායමක් හැටියට පිළිකුලට ලක්වෙමින් සිටිති. මෙහි බලවත්ම අමානුෂික පැවැත්ම වන්නේ සියලුම ජමාත්වාදයන්ගෙන් බැටකෑ සුෆී මුස්ලිම්වරු හෙවත් ස්වදේශීක මුස්ලිම්වරුන්ද මේ ප්‍රහාරයන්ට ලක්වීමය. දැන් කාත්තන්කූඩි රඟදැක්වෙන අලුත්ම ජමාත් නාඩගමේ ප්‍රධාන නළුවා අල්හාජ් කලීල් මව්ලවිය, ඔහුට දෙබස් සපයන වේදිකාව සරසා දෙන්නෝ ඊළඟ ප්‍රහාරයකදී වගඋත්තරකරුවන් අතරේ සිටිනු ඇති. පසුගිය සති කීපය තුළ ලංකාවේ නගර කීපයකම මුස්ලිම්වරු ඉස්ලාම් රජයක් හෙවත් අයි.එස්.අයි.එස්. මතවාදයට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වූහ. මෙයින් මීගමුවේ හා පුත්තලමේ පැවති විරෝධතා ජන සහභාගීත්වය නිසා වඩාත් කැපී පෙනුණේය. ඉස්ලාම් අන්තවාදය පිටුදකින ප්‍රති මතවාදය පැමිණිය යුත්තේ මුස්ලිම් බැතිමතුන් අතරෙන්ය. මන්ද එය එම සමාජය තුළම ඉපදී හැදී වැඩී ලොකු මහත් වූවකි. නමුත් හුදු මුස්ලිම් විරෝධය නමැති මුග්ධ හැසිරීම හා ජාතික සමගිය නමැති තොරම්බල කරත්තය නිසා යළිත් වතාවක් ලංකාවේ මුස්ලිම් ජනයා දේශපාලන අගාධයක් කරා ගමන් කරමින් සිටින්නේය. දේශපාලනිකව නිවැරදිව හැසිරීමට තතනන ලිබරල්වාදීන්ට හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට මේ විරෝධතා ව්‍යාපාරයෙන් බලවත් සැනසුමක් අත්වූවාට සැකයක් නැත. ඔන්න ලංකාවේ මුස්ලිම්වරු, අයි.එස්.අයි.එස් හෙවත් ඉස්ලාම් ආණ්ඩුවාදීන්ට බරපතළ විදිහට විරුද්ධ වෙලා පාරට බැස්සා. දැන් ඉතින් වහාබ් අන්තවාදය ලංකාවෙන් පැය විසි හතරෙන් තුරන් වෙයි. ඒ නිසා අපි 21/04 පාස්කු ඉරිදට ඉස්සර ජීවත් වුණා වගේ සමගියෙන්, සමාදානයෙන් ඉමු. පැරණි කතා අමතක කරමුයි’ ඔවුහු යෝජනා කරමින් සිටිති. ලංකා සමාජයේ සිටින විනාශකාරීත්වයෙන් ඉස්ලාම් අන්තවාදීන්ට පමණක් දෙවැනි වෙන දේශපාලන කණ්ඩායම් වන්නේ ලිබරල්වාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා හාන්සි පුටු විප්ලවවාදීන්ය. ඔවුහු මේ සමාජයේ සිදුවන සියලුම අගතීන් ඉවසා ලිබරල්ව සිටින්නැයි අපෙන් ඉල්ලා සිටිති. ඔවුන්ගේ මානසික සාමයට බාධා නොකරන්නැයි කෙඳිරි ගාති. මිනිසුන් සිය ගණන් කිසිදු හේතුවක් නැතුව හෝ ඝාතකයන් පමණක් දන්නා හේතුන් මත මරා දැමුණු පසු දැන් මළමිනී වළදාල ඉවරයි. දැන් යළිත් සමගි වී සිටිය යුතු යැයි සමාජ ප්‍රජාත්නත්‍රවදීහු නිර්දේශ කරති. ඒ වෙනුවෙන් සාකච්ඡා, සම්මන්ත්‍රණ පවත්වති. හාන්සිපුටු විප්ලවවාදීහු අඩ නින්දෙන් නැගිට මේවා මෙසේ ජයගත නොහැකිය. අපි අදාළ පර් යේෂණ කර ගැටුම් නිරාකරණය කිරීමට නිර්දේශ සපයන තුරු සාමකාමීව සිටින්නැයි යෝජනා කරති. දැන් කාත්තන්කූඩියේ සහරාන් මව්ලවිගේ සතුරෝ වේගයෙන් බෝවෙමින් සිටිති. ගිය සතිය අගදි එළියට පැමිණි තවත් තව්හීද් ජමාත් මව්ලවීවරයෙක් 2017 පටන් සහරාන් මව්ලවීගේ ව්‍යාපාරයට ඔවුන් කොතෙක් නැගෙනහිර බලධාරීන්ට පැමිණිලි කර දුකට පත්වී සිටියේද කීවොත් එම නගරයේ නායකයන් පවා සහරාන් අැතුළු පිරිස මරා පොලිසිය ළඟට ගෙනැත් දමන්නදැයි විමසා සිටි බව නිවේදනය කර තිබුණේය. මෙය දෙවැනි වන්නේ බොලිවුඩ් සිනමාවේ ශාරුක් ඛාන්ගේ රඟපෑම්වලට පමණි. මේ අල්හාජ් කලීල් මවුලවී කාත්තන්කුඩි වැසියෙක් නොවේ. ඔහු වහාබ්වාදයට මෙතෙක් කල් යටත්වී සිටි කාත්තන්කූඩි නගරාධිපති අස්ෆර් මොහමඩ් සාහුල් හමීඩ් හා කාත්තන්කූඩි පොලිසියේ ලොක්කකු අනුරාධපුරයෙන් කුලියට ගෙන්වා ගත් නළුවෙකි. ඒ තමන් ජීවත් නොවූ නගරයේ නිර්මාණය වෙමින් පැවති ඉස්ලාම් රජය වසන් කිරීමට කලීල් මවුලවී ලවා නගරයේ නායකයන් සහරාන් මවුලවී මරා දැමීමට පවා සූදානමින් සිටි බව කියමින් සියලු වැරදි අපේ නොවේ, මේ රටේ සියලුම වැසියන්ගේ වැරැද්දක් හැටියට බෙදා හැරීමටය. අවාසනාවකට කාත්තන්කූඩි නගරාධිපතිගේ වහාබ්වාදය වෙනුවෙන් නිදහසට බේගල් කියන්නාගේ බසට කන්දීගෙන සිටින කිසිවෙක් ඔවුන්ගේ අතීත වහාබ් විරෝධයට කිසිම සාක්ෂියක් නො ඉල්ලති. මව්ලවී කලීල්ගේ සහරාන් විරෝධී කතාවේ ශ්‍රාවකයන් වී සිටිති. මෙය පුදුමයක් නොවේ. පසුගිය සති කීපය පුරා රටේ නොයෙකුත් නගරවල වෙසෙන මුස්ලිම්වරු ඉස්ලාම් රාජ්‍යවාදීන් හෙවත් අයි.එස්.අයිඑස්.වාදීන්ට එරෙහිව විරෝධතාවල නිරත වූහ. නමුත් මේ කිසිම විරෝධතාවක වහාබ්වාදයට විරුද්ධ සටන් පාඨ නොතිබුණේය. තවුහිද් ජමාත්වාදයට විරුද්ධ සටන් පාඨ නොතිබුණේය. තව්හීත් ජමාද් වාදයට විරුද්ධ සටන් පාඨ නොතිබුණේය. ලංකාවේ ඉස්ලාම් අන්තවාදයේ ප්‍රධාන අනුග්‍රාහකයා වූ ලංකා තව්හීද් ජමාත් කණ්ඩායම ගැන පමණක් සඳහනක් දෙකක් තිබුණේය. මේ සිදුවීමෙන් ප්‍රධාන ගැටලු දෙකක් අපට මතුවෙයි. ඉන් පළමු වැන්න ඉස්ලාම් අන්තවාදය ගැන ලියන රචකයන්ගේ නොදැනුවත්කමේ විනාශයයි. දෙවැන්න මේ වනවිට සියලු වහාබ්වාදීන් අයි.එස්.අයි.එස් විරෝධි කරත්තයට නැග දෙවැනි ගැට කපන්නාගේ උපාය අනුගමනය කරමින් සිටින්නේද යන සැකයයි.’ දෙවැනි ගැට කපන්නාගේ ක්‍රමය වන්නේ අනෙකා අහුවුණු සැනෙන් ‘මේං හොරෙක්’ කියමින් අවධානය වෙනතකට ගැනීමේ උපායයි. මේ අර්බුදය ගැන වාර්තාකරන හා මත ලියන ලේඛකයෝ හෝ වාර්තාකරුවෝ වහාබ්වාදය තවුහිද් ජමාත් වාදය හා තව්හීක් ජමාත් වාදය අරමුදල් වෙනුවෙන් කල්ලිවලට බෙදී සිටියත් එකම මතවාදයක් හැටියට තවමත් හඳුනා ගෙන නැත. දැන් පුත්තලමේදීත්, මීගමුවේදීත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මතවාදී විත්තිකරුවෝ සැඟවෙති. බටහිර ඉස්ලාම් අන්තවාදය පිළිබඳ විශේෂඥයෙක් විග්‍රහ කළ ආකාරයට අයි.එස්.අයි.එස් අන්තවාදීන් ලංකාවට ආවා නොව ලංකාවේ ඉස්ලාම් අන්තවාදීහු අයි.එස්.අයි.එස් සොයාගෙන ගියහ. මේ අයි එස් අයි එස් සොයාගෙන ගිය ලංකාවේ ඉස්ලාම් අන්තවාදීන් නිර්මාණය කළේ තව්හීද් ජමාතය හා වහාබ්වාදය යැයි දැන් විරෝධතාවලදී වසන් කෙරෙන්නේ හෙවත් ආරක්ෂා කෙරෙන්නේත් මේ අන්තවාදී මතවාදයන් තුනේ වැඩපිළිවෙළයි. ලංකාවේ ඊළාම් රාජ්‍යවාදයේ මුල් තිබෙන්නේ ඉන්දියානු අපි දෙමළ මතවාදය තුළය’ එය ලංකාවේ එම මතවාදය පැතිරීමට බොහෝ කලකට පෙරම තිබුණේය. ලංකාවේ ඉස්ලාම් රාජ්‍ය මතවාදයත් එබඳුම එකකි. වඩා ආගමට බැඳුණු මුස්ලිම් පවුල් සංකල්පය හා ඒ ඒ සමාජවලින් මුස්ලිම් ඇදහීම්වලට එකතු වූ දේ හෙළාදකින්නත්, ඒවා අදහන වඳින පුදන මුස්ලිම්වරු මිථ්‍යා දෘෂ්ටිකයන් බවට පිරිහෙලා ෆට්වා නියෝග පැනවීම එන්නේ උතුරු ඉන්දියාවේ උපන් තවුහිද් ජමාත් මතවාදයෙනි. ලංකාවේ පැවති මද්‍රසා දහම් පාසල්වල මතවාදී බලයත් ඒවාට දරුවන් යැවීමට බල කෙරෙන මතවාදයත් ආවේ මේ උතුරු ඉන්දියානු තබ්ලික් ගෙඩිය පිටින් මෙරටට ගෙන ඒමෙනි. දකුණු ඉන්දියාවේ සිට තව්හීක් ජමාත් හෙවත් සියලු විරුද්ධවාදීන් විනාශ කොට පිරිසිදු ඉස්ලාමය පැතිරවීම හා එයට ප්‍රචණ්ඩත්වය ගෙන එන්නේ තවුහිද් ජමාත් මතවාදයයි. මේ දෙකම පත එකට හින්දා ඉස්ලාම් රජයක් තැනීම එනම් ආගමික නායකයා හා දේශපාලන එකම මුස්ලිම් පාලකයෙක් පත්කිරීම ගෙන එන්නේ සෞදි වහාබ් වාදයයි. මේ වහාබ්වාදය ගෙන එන්නේ මැදපෙරදිග රැකියා සඳහා ගිය ලාංකික මුස්ලිම්වරු හා ශිෂ්‍යත්ව සඳහා මැදපෙරදිගට ගිය මේ රටේ තරුණ මුස්ලිම් බැතිමතුන්ය. යළි පාස්කු ඉරිදා වර්ගයේ ප්‍රහාරයන් වළකා ගන්නට නම් ලංකාවේ වැටුප් ලබන රාජ්‍ය ආරක්ෂකයන් මෙන්ම සන්නිවේදකයන්ද ගැටලුවේ මුල් සොයා ගත යුතුය. එසේ නැතිව ඔවුන්ට අනාගතයේදී ඉස්ලාම් අන්තවාදයෙන් මේ රටේ ජන ජීවිතය ආරක්ෂා කළ නොහැකිය. අපේ මුස්ලිම්වරුද උගුරට හොරා බේත් නොකමින් එළියට පැමිණ මේ මතවාද තුන ප්‍රසිද්ධියේත්, තම දරුවන් ඉදිරියේත් හෙළා දැකිය යුතුය. දැනට මේ අන්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී තිබෙන පල්ලි වහාම නිදහස් කර ගත යුතුය. මද්‍රසා හා අරාබි විදුහල්වල සිටින අන්තවාදී ගුරුන් හා මව්ලවිවරුන් තනතුරුවලින් නෙරපිය යුතුය. එසේ නැතිව සහරාන් ගැන ඔත්තු දී ලැබුණු මුදල් බෝම්බ තුවාලකරුවන් අතරේ බෙදීමෙන් හෝ ක්‍රිස්තියානි පල්ලි පිරිසිදු කිරීමෙන් හෝ වෙසක් කුඩු පත්තු කිරීමෙන් මේ රටේ අනාගතයට හෝ වාර්ගික සමගියට සිදුවෙන යහපතක් නැත. නන්දන වීරරත්න
 

More News..