brand logo

අයිස් ක්‍රීම් වෙළෙන්දා ශීතකරණයට යටවී මරුට

27 January 2021

  අනුරාධපුර නගරය අවට අයිස් ක්‍රීම් වෙළෙඳාමේ නිරතවූ වෙළෙන්දෙකු වෙළෙඳාම් අවසන්වී නිවසට යමින් සිටියදී ත්‍රිරෝද රථය පෙරළී එහි තිබූ අධි ශීතකරණය ඇඟ මතට වැටීමෙන් බරපතළ තුවාල ලබා පෙරේදා (25දා) රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය පවසයි. අනතුරෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අංක 472 නීරාවිය දේවානම්පියතිස්සපුර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි දෙදරු පියෙකුවූ එස්.එම් තිලකරත්න (68) යන අයයි. ඔහු පෙරේදා (25 වැනිදා) සවස වෙළෙඳාම් කිරීමෙන් පසුව මිතුරෙකු සමග මත්පැන් පානය කර රථය පදවාගෙන ගොස් ඇති බව පොලිසිය සිදුකළ පරික්ෂණවලදී අනාවරණය වී තිබිණි. ඔහු අනුරාධපුර නගරය හරහා අධික වේගයෙන් ත්‍රිරෝද රථය පදවාගෙන ගොස් ඉසුරුමුණිය ඔරලෝසු කණුව වටරවුමෙන් නීරාවිය දෙසට යෑමට උත්සහ කළ අවස්ථාවේ රථය පෙරළී ඇති බවත් රථය පෙරළුණු අවස්ථාවේ එහි පිටුපස සවිකර තිබූ අධි ශීතකරණය ගැලවී ඔහුගේ ශරීරය මතට වැටී යටවී තිබෙන බව පොලිසිය පවසයි. අනුරාධපුර නැගෙනහිර බුද්ධික මහේෂ්
 

More News..