brand logo

අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනම් සහන සලසන්න - ජනපති

24 September 2019

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ. එම සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත්, නාය යෑමේ අවදානම පවතින ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය. එමෙන් ම පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන වැඩපිළිවෙළේ දී ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් සිදු කරන ලෙසත්, තමා මැදිහත් වී එම මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේ ය. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ එමඟින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ පිළිබඳ අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ය. ඉදිරි මාස 02ක කාලය තුළ අධික වැසි තත්ත්වය දිගින් දිගටම ඇතිවිය හැකි බව මෙහිදී සඳහන් කෙරුණු අතර, පූර්ව සූදානමක් ඇතිව එම තත්ත්වයන්ට මුහුණදීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ සියලු අංශවල සම්බන්ධීකරණයෙන් සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය. එමෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයේ දී බාධාවකින් තොරව එම හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමේ සහ ජනතාවගේ සහන වැඩපිළිවෙළ විධිමත් කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.ය පසුගිය දින කිහිපය පුරා ඇද හැථණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පුද්ගලයන් 6,000කට වැඩි පිරිසක් ආපදාවට ලක්ව ඇති අතර ඔවුන් වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ ද සමාලෝචනය කෙරිණි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මෙහි දී පෙන්වා දුන්නේ පැවති නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15 ක පමණ ජනතාවට පානීය ජලය බෙදාදීමේ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබූ බවත් එම කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් ය. ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුථ රාජ්‍ය නිලධාරන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
 

More News..