brand logo

අයවැය යෝජනාව නිසා තරුණ විරැකියා අනුපාතය ඉහළට

21 November 2020

අයවැයේ යෝජනාව අනුව පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීම හේතුවෙන් දැනටමත් 18%ක් වන මෙරට ‘තරුණ විරැකියාව’ තවදුරටත් ඉහළ යනු ඇතැයි නිදහස් වෙළෙඳ කලාප නිර්මාපකයන්ගේ සංගමය (FTZMA) පෙන්වා දෙයි. එම නිසා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර එහි වාසි අවාසි පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කරන ලෙසද FTZMA රජයෙන් ඉල්ලා සිටී. FTZMA යනු ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජිකයකු මෙන්ම කම්කරු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විෂයභාර ඇමැතිවරයාට උපදෙස් ලබාදෙන ත්‍රෛයිපාර්ශවීය කමිටුවේ පාර්ශ්වකරුවෙකි. ජනාධිපතිවරයාට සහ තවත් පාර්ශ්ව කිහිපයකට ලිපියක් යොමු කරමින් FTZMA පෙන්වා දෙන්නේ නෛතික විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට පෙර, සිය වයස්ගත සේවකයන් අපේක්ෂිත කාලයට වඩා දිගු කලක් සේවයේ තබා ගැනීමට අවස්ථාව පවතීද යන්න කෙරෙහි සමාගම් අවධානය යොමු කළ යුතු බවයි. ‘‘පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවන්ට සහ පිරිමින්ට පිළිවෙළින් වයස අවුරුදු 50 දී සහ 55 දී සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබා ගැනීමට අවසර ලබා දී ඇත. පෞද්ගලික අංශයේ ක්‍රියාවලිය වන්නේ අර්ථසාධක අරමුදලේ ප්‍රථිලාභ ලබන වයසේදී දී සේවකයන්ට විශ්‍රාම ගැනීමට ඉඩ සලසා දීමයි. වයස්ගතවීමේ දී තම සුරක්ෂිතභාවය ඇතුළු මූල්‍ය ආරක්ෂණයේ වැදගත්කම ශ්‍රී ලංකාවේ ඉහළ තත්ත්වයක පවතින බව අපි තේරුම් ගෙන සිටිමු. එම නිසා නෛතික විශ්‍රාම ගැන්වීමේ වයස පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමට පෙර රජය ඊට අදාළ නිසි තොරතුරු පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙය වර්තමානයේ 18%ක් පමණ වන තරුණ විරැකියාව තවදුරටත් උග්‍ර කරනු ඇත, යැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. නයන තරංග ගමගේ
 

More News..