brand logo

අමුතු පෙනුම නිසා නළුවෙක් වුණා

05 January 2020

මේ කෙනා බැලූ බැල්මටම දකුණු ඉන්දීය පෙනුමක් තියෙන කෙනෙක්. නිස්සාර සිංදුව මතක් කරගත්තොත් එහි රූප රචනාව හරහා කාගේත් අවධානය දිනා ගන්නත් මොහු සමත් වුණා. මේ වෙද්දී ඔහු ප්‍රසන්න විතානගේ ගේ ගාඩි සිනමා පටය හරහා සිනමාවටත් එකතු වෙලා. ඇත්තටම මේ කවුද මොනවද මේ දවස්වල කරන්නේ කියලා දැන ගන්න අපි පිනිපලසට සම්බන්ධ කර ගත්තා... නම - කපිල් ගල්පිහිල්ල ගම - නුවර - අම්පිටිය පාසල - නුවර අම්පිටිය බෙරවර්ට්ස් පාසල මේ වෙද්දී කලාවට ඇවිත් කොච්චර කාලයක් ද? ලංකාවට ඇවිත් අවුරුදු දෙක තුනක් වෙන්නේ. මම අවුරුදු පහළොවක් විතර රට රැකියාවක් කළේ. මම නිවාඩුවට ලංකාවට ඇවිත් ඉන්නකොට මට ෆොටෝ ෂූට්වලට කතා කළා. මොකද මම ලංකාවට එද්දී දිග රැවුලක් වවාගෙන හිටියා. ඒ නිසා ෆැෂන් ෂෝස්වලට නිලමේ ඇඳුම්වලට එහෙම මට අවස්ථාව ලැබුණා. කොහොමත් මොඩ්ලින් කියන එක මගේ ලයිෆ් එකේ මිස් වෙලා තිබ්බ දෙයක්. ඒ නිසා තමා සාමාන්‍යයෙන් මේ ෆීල්ඩ් එකට එන කාලයට වඩා පරක්කු වෙලා එන්නේ, දිගින් දිගටම මේවට කතා කරද්දී තමා මම ලංකාවේ නතර වුණේ. ඊට පස්සේ මට රංගනයට පවා ආරාධනා ලැබුණා. ආසාව තිබ්බ ද කලාවට එන්න? රංගනයට නම් එහෙම මගේ කැමැත්තක් තිබ්බේ නැහැ. නමුත් පොඩි කාලේ ඉඳන්ම ෆැෂන් කරන්න නම් ආසාවක් තිබ්බා. හැබැයි මෙහෙම දෙයක් නම් තිබ්බා මම එදා ඉඳන්ම එන හැම චිත්‍රපටයක්ම වගේ බලනවා, ඒ අතර අපේ සිනමාවට එන හැම එකක්ම වගේත් බලනවා. කිසිම තේරීමක් කරන්නේ නැහැ. මොකද ඒවා අපේ නිර්මාණ නිසා. සමහර ඒවා දකිද්දී මීට වඩා හොඳට මට කරන්න පුළුවන් කියලා නම් හිතිලා තියනෙවා. ඒවගේම අපේ අතීත සිනමා නිර්මාණ බලද්දී අද තරම් තාක්ෂණය නොතිබිලත් කොයි තරම් අපූරු ද ඒ නිර්මාණ කියලා හිතිලා තියෙනවා. එහෙම නැතිව කවදාවත් රඟපාන්න ඕනේ කියලා හිතිලා නැහැ. දැන් රංගනය ගැන හැදෑරීමක් කරනවද? ඔව්, අනිවාර් යෙන්ම, මටත් ඕනකමක් ඇති වුණා මේ ගැන වැඩියෙන් හදාරන්න. එහෙම හොයන අතරේ නිල්හාන් සෙනෙවිරත්න තමා මට කෞශල්‍යා ප්‍රනාන්දු ගැන කිව්වේ. ඊට පස්සේ මම එතැනින් ඒ දේවල් ඉගෙන ගත්තා. ඒ හරහා මියුසික් වීඩියෝවලට කතා කළා. ඔය අතරේ නිස්සාර ගීතය නිසා ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ දිගටම මියුසික් වීඩියෝවලට කතා කළත් මම ගියේ නැහැ. මොකද කෞශල්‍යා මිස් කිව්ව දෙයක් තමා මුහුණ කොමන් කර ගන්න එපා කියන එක. මටත් ඕන වුණේ ජනප්‍රිය වීමට වඩා ආත්ම තෘප්තිය තියෙන හොඳ දෙයක් කරන්න. සිනමාවට එන්නේ ප්‍රසන්න විතානගේ ගේ නිර්මාණයකින් ඔව්, ඇත්තටම ඒක ගැන කියන්න ඕනේ, එක තැනකදී මාව දැකලා ෆිල්ම් එකකට කතා කළා. ඒ තමයි ගාඩි කියන ෆිල්ම් එක. මම ඒක ගැන කෞශල්‍යා මිස්ට කිව්වම කිව්වෙත් ප්‍රසන්න වගේ කෙනෙක් ගේ ෆිල්ම් එකක පෙනී ඉන්න ලැබීමත් හොඳ අවස්ථාවක් කියලා. ඒකෙ මම දිගටම පෙනී ඉන්න චරිතයක් නෙවෙයි කරන්නේ. නමුත් මට දෙයක් කරන්න ලැබුණු ඉතා හොඳ චරිතයක් සහ අවස්ථාවක් විදියට මම ඒක දකින්නේ. ඒ නිර්මාණය ළඟදීම තිරගත වෙයි. තව නිර්මාණවලට ආරාධනා ලැබුණද? ප්‍රසන්න විතානගේ ම මට කිව්වා, එයාගේ ඊළඟ නිර්මාණයටත් මාව සම්බන්ධ කරගන්න ඉන්නේ කියලා. ඒ වගේම හේලි කියන ධනුෂ්ක රත්නායක කරපු ටෙලි නාට්‍යටත් මම දායක වුණා. ඊට අමතරව මියුසික් වීඩියෝ කිහිපයක් කළා. හැම දෙයකින්ම හොඳ දෙයක් කරන්න තමා මම උත්සහ ගන්නේ. කවුද කැමැතිම නළුවා? මගේ ප්‍රියතම නළුවා තමා ජෝ අබේවික්‍රම, නිළිය නම් මාලනී ෆොන්සේකා. දැන් මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි, මට කෞශල්‍යා මිස් පවා කිව්ව දෙයක් තමා මගේ පෙනුම ටිකක් මේ ක්ෂේත්‍රයට අලුත් කියන එක, ඒ නිසාම ද දන්නේ නෑ මම තැනකට එහෙම ගියාම ගොඩක් අය මා දිහා බලනවා. කවුද මේ කියලත් වෙන්න ඇති සමහර වෙලාවට මාව නොදැනත් මා එක්ක කතා කරන එක ගැන සතුටුයි. ෆැෂන් පැත්ත ගත්තත් ලංකාව වගේ රටක මගේ මේ වයසත් එක්ක අවතීර්ණ වෙන්න ලැබීම ලොකු දෙයක්. මොකද ගොඩක් අය හිතන්නේ නළුවෙක් වුණාම සුදු වෙන්න ඕනේ, රැවුල තියෙන්න බැහැ, මේ වගේ උස තියෙන්න ඕනේ, මෙහෙම ඇඟ තියෙන්න ඕනේ කියලා සීමා හදාගෙන ඉන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ වුණත් එහෙමනේ, ඉතින් මම ඊට හාත්පසින්ම වෙනස් විදියට තමා මේ ක්ෂේත්‍රයට එන්නේ, දිග රැවුලක් එක්ක, පැසුණු හිස කෙස් එක්ක, වෙනස්ම විදියකට. වෙනස් ම කාලයකදී මට මේ ක්ෂේත්‍රයට එන්න ලැබීමම සතුටක්. ඇත්තටම ඔය හිස කෙස් වයස නිසා පැසිලා ද? නැත්නම් ෆැෂන් එකද? නැහැ ඇත්තම පෙනුම මේ, ගොඩක් අය නම් විශ්වාස කරන්නේ නැහැ. ඉදිරියේ දී කරන්න ආස චරිත තියෙනවද? මගේ පෙනුම එක්ක මට කතා කරන්නේ ගොඩක්ම මැර චරිතවලට. හැබැයි ඒ නිසාම මට චරිත කිහිපයක්ම ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා. මම ආසයි කර්කශ රළු චරිත කරන්න, ඒ වගේම මේ පොළවේ පයගහලා ඉන්න ගම්වල ජීවත් වෙන චරිත කරන්න ආසයි. සමහර විට කෙනෙක් ට හිතෙන්න පුළුවන් මගේ බාහිර පෙනුම දිහා බලලා මට ඒ චරිත ගැළපෙන්නේ නැහැ කියලා. ඒත් මම ආසයි ඒ වගේ චරිතවලට, මොකද මම ෆලෝ කරන්නේ ජෝ අබේවික්‍රම මහතාව. අනුෂා රණසිංහ     
 

More News..